Sunday, July 19, 2015

පුත්තලම මාර්ගය - චාරිකා සටහන්

පර්යන්ත දුම්රිය ස්ථාන සොයා යන ගමනේ මීළඟ චාරිකා සටහන තැබෙන්නේ පුත්තලම මාර්ගය පිළිබඳව යි.

පුත්තලම මාර්ගය ආරම්භ වන්නේ රාගම දුම්රිය ස්ථානයෙනි. එය කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත දී හමුවන ප්‍රථම දුම්රිය මංසන්ධිය වන අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන එකම මංසන්ධියද වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අංක 3 වශයෙන් හැඳින්වෙන්නේ පුත්තලම මාර්ගය යි. පුත්තලම මාර්ගයේ මුළු දුර එනම් රාගම සිට නූර් නගර් වෙත අැති දුර කිලෝමීටර 123.549 කි. මීට වැඩි දුරක් දක්වා මාර්ගය පැවතුන ද දැනට මගී ප්‍රවාහනය සිදුවන්නේ නූර් නගර් දක්වා පමණි.

රාගම සිට ජාඅැල දක්වා පමණක් ද්විත්ව මාර්ග අැති අතර එතැනින් ඔබ්බට තනි මාර්ගය දිවේ. වර්ණ සංඥා භාවිතා කෙරෙන්නේ රාගම සිට මීගමුව දක්වා පමණි. එතැන් සිට භාවිතා වන්නේ පැරණි ටැබ්ලට් ක්‍රමය යි.

මගී ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ගයේ අවසානය වන්නේ නූර් නගර් දුම්රිය ස්ථානය යි. එනම් පුත්තලමට පසු හමුවන පළමු දුම්රිය ස්ථානය යි. නමුත් මාර්ගය එතැනින් අවසන් වන්නේ නැත. නූර් නගර් සිට පෙරියනාගවිල්ලු හරහා එය ඉදිරියට අැදෙයි. මාර්ගයේ එම කොටස භාවිතා කරන්නේ හොල්සිම් සිමෙන්ති සමාගම යි. ඔවුන් පාලාවි හි පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත හුණුගල් (සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගැනෙන ප්‍රධාන අමු ද්‍රව්‍යය යි) ප්‍රවාහනය කරනුයේ ඉහත සඳහන් කළ මාර්ගය ඔස්සේ ය. එ් සඳහා හොල්සිම් සමාගමට අයත් දුම්රිය එන්ජින් සහ හුණුගල් ප්‍රවාහන ගැල් භාවිතා වේ. (ඡායාරූප බලන්න)

රාගම දුම්රිය ස්ථානය. වම් පසින් දිවන මාර්ගය පුත්තලම් මාර්ගයයි. දකුණු පසින් පෙනෙන්නේ ප්‍රධාන මාර්ගයයි. කොළඹ දෙසට පිටුපා ඡායාරූපය ගන්නා ලදී.
ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඔස්සේ දිවෙන මාර්ගය කොච්චිකඩේ සහ වෛක්කාල දුම්රිය ස්ථාන අතර මා ඔය හරහා ගමන් කරමින් දිස්ත්‍රික් මායිම පසු කරයි.
වංගු අඩු ඉතා දීර්ග ලෙස විහිදුනු තනි කෙළින් මාර්ග මෙහි විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැක. මුහුදු මට්ටමට ඉතා අාසන්න උසකින් ගමන් කරන බැවින් සැලකිය යුතු භූ විෂමතා ලක්ෂණ කිසිවක් දක්නට නොලැබේ. කඳුකර ලක්ෂණ ද හමු නොවේ. (උඩරට මාර්ගයේ චාරිකා සටහන් සමග සැසඳීමේ දී මේ පිළිබඳ තව දුරටත් වටහා ගත හැක) එම නිසා ගමනේ වේගය ඒකාකාරව පවත්වා ගැනීමට දුම්රිය එන්ජින් වලට හැකි වේ. නමුත් මුණ්ඩල් කලපු තීරය පසු කරත්ම වෙරලාසන්න භූගෝලීය ලක්ෂණ දැක ගත හැක. එනම් කලපු, ලේවාය, මෝය සහ ඩෙල්ටාව ආදිය යි.

දුම්රිය ස්ථාන ලැයිස්තුව
  1. රාගම (සන්ධිය)
  2. පේරලන්ද
  3. කඳාන
  4. කපුවත්ත
  5. ජා ඇල
  6. තුඩැල්ල
  7. කුඩහකපොල
  8. අලවතුපිටිය
  9. සීදූව
  10. ලියනගේමුල්ල
  11. ආයෝජන ප්‍රවර්ධන කලාපය
  12. ගුවන්තොටුපල (ගුවන් තොටුපල විහිදුම් මාර්ගය - සාමාන්‍ය ගමන් මගට හසු නො වෙයි)
  13. කටුණායක
  14. කුරණ
  15. මීගමුව
  16. කට්ටුව
  17. කොච්චිකඩේ
  18. වෛක්කාල
  19. බෝලවත්ත
  20. බොරලැස්ස
  21. ලුණුවිල
  22. තුම්මෝදර
  23. නාත්තන්ඩිය
  24. වලහපිටිය
  25. කුඩා වැව
  26. නෙළුම් පොකුණ
  27. මාදම්පෙ
  28. කාක්කපල්ලිය
  29. සවරාන
  30. හලාවත
  31. මානුවන්ගම
  32. බංගදෙණිය
  33. ආරච්චිකට්ටුව
  34. ආනවිලුන්දාව
  35. බත්තුලුඔය
  36. පුලිච්චකුලම්
  37. මුන්ඩල්
  38. මංගල එළිය
  39. මදුරන්කුලිය
  40. එරුක්කලම්පිඩි - නාගවිල්ලු
  41. පාලාවි
  42. තිල්අඩිය
  43. පුත්තලම
  44. නූර්නගර් (මගී ප්‍රවාහනය සඳහා මාර්ගයේ කෙළවර)
චාරිකාව ගැන

දිනය - 2015 ජූනි මස 27 සෙනසුරාදා
ගමනාරම්භය - රාගම දුම්රිය ස්ථානය
පිටත් වීම - පෙ.ව. 8:30
දුම්රිය ගමන් වාරය - අංක 3411 කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දිනපතා
ගමනාන්තයට ළඟා වීම - ප.ව. 12:50‍
නූර් නගර් දුම්රිය ස්ථානයෙන් සති අන්තයේ දුම්රිය ආරම්භ නොවන බැවින් පා ගමනින් එහි ගියෙමි.
ආපසු පැමිණීම
පුත්තලමින් පිටත් වීම - ප.ව. 4:45
දුම්රිය ගමන් වාරය - අංක 3828 පුත්තලම සිට කොළඹ කොටුව දක්වා සෙනසුරාදා/ඉරිදා
රාගමට ළඟා වීම - ප.ව. 9:10

චාරිකා තොරතුරු

චාරිකාවේ අාරම්භය සිදු වන්නේ රාගම දුම්රිය ස්ථානයෙනි. අතීතයේ එය හඳුන්වා අැත්තේ 'මහර' නමිනි. ලංකාවේ මුල්ම දුම්රිය ධාවනය වූ සමයේ ඉදි වුනු දුම්රිය ස්ථාන අතරින් එකක් වන රාගම තරමක් විශාල දුම්රිය ස්ථානයකි. එහි වේදිකා හතරක් අැති අතර පළමුවන වේදිකාව කොළඹ දසට ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහාද දෙවන වේදිකාව කොළඹ සිට ඉහළට ධාවනය වන දුම්රිය සඳහා ද භාවිතා වේ. තුන්වන වේදිකාව භාවිතා වන්නේ දුම්රිය ඉස්සර කිරීම (overtake) වැනි විශේෂ අවස්ථා වලදී ය. හතරවන වේදිකාව මුළුමනින්ම භාවිතා වන්නේ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා යි. මීට අමතරව භාණ්ඩ ප්‍රවාහන ගැල් නවතා තැබීම වැනි කටයුතු සඳහා වෙන්වුනු අමතර මාර්ගයක් ද අැත.
මුහුදුබඩ හා කැළණි වැලී මාර්ගයේ ධාවනය වන දුම්රිය හැර සෙසු සියලුම දුම්රිය රාගම පසු කරයි. සතියේ දිනවල උදෑසන හයත් නවයත් අතර අතිශය කාර්ය බහුල වන රාගම දුම්රිය ස්ථානය මගී ජනයාගෙන් පිරී යයි.
රාගම දුම්රිය ස්ථානයේ හතරවන වේදිකාව

රාගම දුම්රිය ස්ථානයේ නවතා අැති භාණ්ඩ ප්‍රවාහන ගැල්
රාගම දුම්රිය ස්ථානය අසලින්ම දුම්රිය හරස් මාර්ගය වැටී අැත. එ් කඩවත - මහබාගේ මාර්ගය යි. වර්තමානයේ එ් සඳහා ගුවන් පාලමක් ඉදිවී අැත. එය ලංකාවේ දුම්රිය මාර්ගයක් හරහා ඉදි වුනු දෙවන ගුවන් පාලමයි. කාර්යබහුල වේලාවලදී දුම්රිය හරස් මාර්ගයේ අැති වූ විශාල වාහන තදබදය අවම කිරීමට මෙම පියවර ගෙන අැත.
රාගම ගුවන් පාලම දුම්රිය ස්ථානයට පෙනෙන අයුරු
රාගම සිට අැරඹෙන පුත්තලම මාර්ගය එකවරම පසු කරන්නේ තියුණු වංගුවකි. එම වංගුව ගැනීම සඳහා පනවා අැති වේග සීමාව වන්නේ පැයට කිලෝමීටර 25 කි.

පුත්තලම මාර්ගයේ අාරම්භය

වේග සීමා දැනුම් දීමේ පුවරුව
දුම්රිය පුත්තලම මාර්ගයට හැරවූ පසු
රාගමින් ගමන් අාරම්භ කරන පුත්තලම දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ස්ථානය වන්නේ පේරලන්ද යි. කුඩා දුම්රිය ස්ථානයක් වන මෙහි මගී ජනතාව වැඩියෙන් ගැවසෙන්නේ උදෑසන කාර්යාල වේලාවන් වලදී පමණක් බව අනුමාන කළ හැක.

පුත්තලම මාර්ගයේ පළමු දුම්රිය ස්ථානය පේරලන්ද
පේරලන්ද දුම්රිය ස්ථානය
පේරලන්ද ට පසු හමුවන කඳාන තරමක් විශාල මෙන්ම පැරණි දුම්රිය ස්ථානයකි. සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් නිරන්තරයෙන් එහි ගැවසේ. වේදිකා දෙකක් අැති එහි වේදිකා සෑහෙන තරම් දිග ය. දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර බාගයක පමණ දුරකින් කඳාන නගරය පිහිටා අැත. කඳාන යනු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙළඳ නගරයකි. එය කොළඹ මීගමුව පුත්තලම A3 ප්‍රධාන මාර්ගයට ද හමුවන නගරයකි. කඳාන අාසන්නයේ දී A3 මාර්ගය දුම්රිය මාර්ගය අසලට පැමිණේ. මෙතැන් සිට මීගමුව දක්වා එය දුම්රිය මාර්ගයට සමාන්තරව වම් පසින් දැකගත හැක.
කඳාන දුම්රිය ස්ථානය
කඳාන දුම්රිය ස්ථානය අසලින් ගණේමුල්ල - කඳාන පාර හමු වේ. දුම්රිය මාර්ග දෙකක අැති දුම්රිය ස්ථාන දෙකක් යා වන මහා මාර්ගයක් ලෙස මෙම මාර්ගය නම් කළ හැක. බැලූ බැල්මට එහි එතරම් විශේෂත්වයක් නොපෙනුනත් හොඳින් අධ්‍යයනය කර බැලූ විට පෙනී යන්නේ එවැනි මාර්ග ලංකාවේ අැත්තේ කිහිපයක් පමණක් බව යි.
මීළඟ දුම්රිය ස්ථානය කපුවත්ත යි. වේදිකා දෙකක් අැති මෙම දුම්රිය ස්ථානය ද කුඩා එකකි. වැඩි මගී සංඛ්‍යාවක් දක්නට නොමැත.
කපුවත්ත දුම්රිය ස්ථානය
කපුවත්ත දුම්රිය ස්ථානය
මීළඟ දුම්රිය ස්ථානය ජා-අැල යි. ජා-අැල නගරය ද ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන වෙළඳ නගරයකි. උදෑසන කාර්යාල දුම්රිය මගීන්ගෙන් පිරී යන ජා-අැල දුම්රිය ස්ථානයේ දිවා කාලයේත් සැලකිය යුතු මගී පිරිසක් ගැවසේ. වේදිකා දෙකක් අැති එහි වේදිකා දෙකම සෑහෙන තරම් දිගය. පුත්තලම මාර්ගය තැනූ මුල් අවධියේ දී ගොඩනැගූ පැරණි දුම්රිය ස්ථානයක් ලෙස ජා-අැල නම් කළ හැක.
ජා-අැල ට ඒ නම ලැබුණු අාකාරය ගැනත් විමසා බැලීම යෝග්‍ය වේ යැයි සිතමි. අැතැම් ජනප්‍රවාද වලට අනුව ලන්දේසි යුගයේ 'ජා' මිනිසුන් ලවා සෑදවූ අැල මාර්ගයක් නිසා ප්‍රදේශයටත් ජා-අැල යන නම පටබැඳී අැතැයි කියැවේ. 'ජා' මිනිසුන් යනු ලන්දේසි පාලන අවධියේ දී අග්නිදිග අාසියාවේ ඉන්දුනීසියාව ජාවා වැනි ප්‍රදේශ වලින් පැමිණි පිරිසකි. ඔවුන් වෙළඳ කටයුතු සහ වහල් සේවය පිණිස දකුණු අාසියාවේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) මගින් පාලනය වූ ප්‍රදේශ වලට පැමිණි බවට සාක්ෂි අැත. අද ශ්‍රී ලාංකික මැලේ නමින් හැඳින්වෙන ජන කොට්ඨාසය එදා පැමිණි ජා මිනිසුන් සහ මලයාසියාවෙන් සංක්‍රමණය වූවන්ගේ සම්මිශ්‍රනයක් බව පොදු පිළිගැනීමයි.
ජා අැල දුම්රිය ස්ථානය

ජා අැල දුම්රිය ස්ථානය
මෙතෙක් පැමිණි ද්විත්ව මාර්ගය ජා-අැලින් අවසන් වේ. එතැන් සිට පුත්තලම දක්වා දිවෙන්නේ තනි මාර්ගය යි. ජා-අැල දුම්රිය ස්ථානය පසු කරන විටම යක්කල - ගම්පහ - ජාඅැල A33 ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරයි. එය ගම්පහ සිට ජා-අැල ට ළඟා වීමට අැති බස් මාර්ගය යි. මීළඟ දුම්රිය ස්ථානය වන්නේ තුඩැල්ල යි. එතරම් විශාල දුම්රිය ස්ථානයක් නොවන එහි ද වේදිකා දෙකකි.
තුඩැල්ල දුම්රිය ස්ථානය
තුඩැල්ලට පසු පිළිවෙලින් කුඩහකපොල සහ අලවතුපිටිය හමු වේ. එම දුම්රිය ස්ථාන දෙක ද එතරම් විශාල නැත. වැඩි මගී පිරිසක් ද දක්නට නොලැබේ.
කුඩහකපොල දුම්රිය ස්ථානය
කුඩහකපොල දුම්රිය ස්ථානය
අලවතුපිටිය දුම්රිය ස්ථානය
මීළඟට ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන සීදූව හමුවේ. සීදූව අාසන්නයේම තවත් විශේෂ ස්ථානයක් හමු වේ. ඒ ස්කාගාර සංස්ථාවේ (Distilleries corporation) ගබඩාව යි. එම ගොඩනැගිල්ල නොදන්නා අයෙකුට වූවත් පහසුවෙන් හඳුනා ගත හැකි වන තරමට ප්‍රබල ගන්ධයක් ඒ අසලින් දුම්රිය ගමන් කරද්දී නැගෙයි.
සීදූව ස්කාගාර සංස්ථාවේ ගබඩාව
සීදූව දුම්රිය ස්ථානය
සීදූව පැරණි එමෙන්ම විශාල දුම්රිය ස්ථානයකි. එහි නිරන්තරයෙන් මගී ජනතාව ගැවසෙයි. සැලකිය යුතු මට්ට්මින් භාණ්ඩ හුවමාරුව ද සිදු කෙරේ. සීදූව නගරය දුම්රිය ස්ථානයෙන් තරමක් අෑතින් A4 මාර්ගයට යාබද ව පිහිටයි. සීදූව දුම්රිය ස්ථානයට බස්නාහිරෙන් මීගමුව කලපුව පිහිටයි. නමුත් දුම්රිය මාර්ගයට කලපු තීරය එක එල්ලේ නොපෙනෙයි. මෙතැන් සිට මීගමුව දුම්රිය ස්ථානය දක්වාම මීගමු කලපුව තීරය දුම්රිය මාර්ගයට සමාන්තරව පිහිටයි.
සීදූව දුම්රිය ස්ථානය
සීදූව පසුකර යන විට කොටුගොඩ - සීදූව මහා මාර්ගය ඒ හරහා ගමන් කරයි. A ශ්‍රේණියේ පාරක් නොවූවත් මගී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාර්ගයකි. මීළඟට හමුවන්නේ ලියනගේමුල්ල දුම්රිය ස්ථානය යි. එය කුඩා දුම්රිය ස්ථානයක් වන අතර එක් වේදිකාවක් පමණක් අැත.
ලියනගේමුල්ල දුම්රිය ස්ථානය
ලියනගේමුල්ල පසුකර මද දුරක් ගමන් කළ විට කටුණායක ඉංජිනේරු තාක්ෂණ අායතනයේ Institute of Engineering Technology (IET) ගොඩනැගිලි පරිශ්‍රය දැකගත හැක. මෙම අායතනය පෙර හැඳින්වූ නාමය 'තාක්ෂණඥයින් පුහුණු කිරීමේ අායතනය' Technicians Training Institue (TTI) වේ. අදටත් බොහෝ දෙනා ව්‍යවහාර කරන්නේ පැරණි නාමය යි. ඒ අසලින් ම මාර්ගයේ දකුණු පසට තවත් දුම්රිය මාර්ගයක් වෙන් වී වන අයුරු පෙනේ. එම මාර්ගය එලෙසින්ම ඉදිරියට අැදී ගොස් අායෝජන ප්‍රවර්ධන කලාපය දුම්රිය නැවතුම් පොල අසලින් දකුණු පසට හැරී ගමන් කරයි. මෙසේ හැරී ගමන් කරන්නේ පුත්තලම මාර්ගයේම දිගුවක් (spur line) වන කටුණායක ගුවන් තොටුපල දක්වා දිවෙන මාර්ගය යි. එය වෙනම දුම්රිය මාර්ගයක් සේ නොසැලකෙන අතර ලියනගේමුල්ල හෝ අායෝජන ප්‍රවර්ධන කලාපය නැවතුම් පොල දුම්රිය මංසන්ධියක් ලෙස ද නොගැනේ. කටුණායක අායෝජන ප්‍රවර්ධන කලාපය (Investment Promotion Zone - IPZ) ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි. බොහෝ දෙනා එය හඳුන්වන කෙටි නාමය වන්නේ 'කලාපය' හෝ 'සෝන් (zone) එක' යි. දුම්රිය නැවතුම් පොල ඉදිවී අැත්තේ කලාපයේ සේවයට පැමිණෙන අයගේ ප්‍රවාහන පහසුව සඳහා යි.
කටුණායක ගුවන් තොටුපල ට දිවෙන මාර්ගය
ගුවන් තොටුපොල මාර්ගය සහ පුත්තලම මාර්ගය ට මැදි වී අැති 'කලාපය' දුම්රිය නැවතුම් පොල සුවිශේෂී පිහිටීමකි. 'කටුණායක දකුණ' යන නාමය ද මේ සඳහා යෙදේ. නැවතුම් පොල අසලින් ම කටුණායක මිනුවන්ගොඩ මාර්ගය ද දක්නට ලැබේ. දුම්රිය හරස් මාර්ගය වැටී අැත්තේ එ් හරහා යි. කොළඹ හෝ මීගමුව දෙසින් පැමිණෙන වාහන ගුවන් තොටුපොලට ළඟා විය යුත්තේ එම මාර්ගය ඔස්සේ යි. මෑතක දී ඉදිවුනු කොළඹ කටුණායක අධි වේගී මාර්ගය ද මුළින් සඳහන් කළ මාර්ගයට සමාන්තරව අැදෙයි. දැනට ශ්‍රී ලංකාවේ අධි වේගී මාර්ගයක් දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරන දෙවන ස්ථානය මෙතැනයි. අනෙක් ස්ථානය වන්නේ කොට්ටාව අාසන්නයේදී කැළණි වැලී දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරන පිටත වටරවුම් අධි වේගී මාර්ගය යි.
කටුණායක ගුවන් තොටුපල ට දිවෙන මාර්ගය
අායෝජන ප්‍රවර්ධන කලාපය දුම්රිය නැවතුම් පොල
අායෝජන ප්‍රවර්ධන කලාපය දුම්රිය නැවතුම් පොල සහ දුම්රිය හරස් මාර්ගය
කටුණායක - කොළඹ අධිවේගී මාර්ගය
මීළඟට හමුවන්නේ කටුණායක දුම්රිය ස්ථානය යි. එතැන් සිට දකුණු පසින් දිස්වන්නේ කටුණායක බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොල යි. නවතා අැති ගුවන් යානා සහ ගුවන් පථය දුම්රියේ සිට ඉතා හොඳින් දැක ගත හැක. රාත්‍රී කාලයේදී විදුලි අාලෝකයෙන් මුළු ප්‍රදේශයම අාලෝකමත් කෙරෙනු ලැබේ. ගුවන් තොටුපල හා එ් අවට අධි අාරක්ෂිත කලාපයකි. එබැවින් ගුවන් තොටුපල අාරක්ෂක සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භට පිරිස් නිරන්තරයෙන් මුර සේවයේ සිටින අයුරු දැක ගත හැක. ඔවුහු දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන අතර කටුණායක දුම්රිය ස්ථානයේ නවත්වනු ලබන දුම්රිය ද නිරීක්ෂණය කරති.
ගුවන් තොටුපොල දුම්රිය මාර්ගයේ සිට පෙනෙන අයුරු
ගුවන් තොටුපොල දුම්රිය මාර්ගයේ සිට පෙනෙන අයුරු
කටුණායක දුම්රිය ස්ථානය තරමක් විශාල පැරණි දුම්රිය ස්ථානයකි. භාණ්ඩ හුවමාරුව බහුලව සිදු වන බැවින් දුම්රිය සැලකිය යුතු වේලාවක් එහි නවතා තැබෙයි.

කටුණායක දුම්රිය ස්ථානය
මීළඟ දුම්රිය ස්ථානය 'කුරණ' යි. එහි වේදිකා දෙකක් අැත.

කුරණ දුම්රිය ස්ථානය
කුරණ දුම්රිය ස්ථානය
කුරණ දුම්රිය ස්ථානය පසු කරන විට දුම්රිය මාර්ගය වයඹ දෙසට හැරී ගමන් කරයි. එහිදී කොළඹ - පුත්තලම A3 මහා මාර්ගය දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. ඒ A3 මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගයට ඇති පළමු දුම්රිය හරස් මාර්ගය යි. එසේ ගමන් කර මීගමුව නගරයට පිවිසෙන විට මීගමුව දුම්රිය ස්ථානය හමු වේ. සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් හුවමාරු වන බැවින් මීගමුවේදී දුම්රිය සෑහෙන වේලාවක් නවත්වා තැබෙ යි.

මීගමුව දුම්රිය ස්ථානය
මීගමුව දුම්රිය ස්ථානයේ වේදිකා තුනකි. සාමාන්‍යයෙන් පුත්තලම දෙසට ධාවනය වන දුම්රිය පළමුවන වේදිකාවට ද කොළඹ දෙසට ධාවනය වන දුම්රිය දෙවන වේදිකාවට ද ළඟා වේ. දුම්රිය ඉස්සර කිරීමක් වැනි අවස්ථා වලදී තුන්වන වේදිකාව භාවිතා වේ.
මීගමුව නගරයේ අැති ප්‍රධාන ලක්ෂණය නම් රට අභ්‍යන්තරයේ සිට මුහුදට කැපූ අැල මාර්ග යි. එ්වා ලන්දේසි පාලන සමයේ (17 වන සියවසේ පමණ) ප්‍රවාහන කටයුතු සඳහා ඉදිවී අැත. ප්‍රධාන වශයෙන් ම මීගමුව වෙළඳ නගරයක් ලෙස ප්‍රචලිත වන්නේ ලන්දේසි යුගයේදී ය. 
මීගමුව යනු සංචාරක කර්මාන්තය බහුලව සිදුකෙරෙන නගරයකි. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මහ නගර සභා දෙකෙන් එකක් වන මීගමුව ලංකාවේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානයකි. සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන මීගමුව ජෛව විවිධත්වය අතින් ද වැදගත් වන්නේ මුතුරාජවෙල වැනි වගුරු සහ කඩොලාන පරිසර පද්ධති පිහිටි බැවිනි. සංචාරකයින් බහුලව ගැවසෙන මීගමුවේ ප්‍රසිද්ධ තරු පහේ හෝටල් විශාල සංඛ්‍යාවක් අැත. මීගමුව ධීවර කර්මාන්තය අතින් ද ප්‍රබල ස්ථානයක් උසුලයි. විශේෂයෙන් මීගමු මත්ස්‍ය සම්පත අති විශාල වන අතර පාරිබෝගිකයින් අතර එ් සඳහා වැඩි ඉල්ලුමක් ද අැත.
මීගමුව දුම්රිය ස්ථානය
මීගමුව යනු පුත්තලම මාර්ගයේ වර්ණ සංඥා භාවිතා වන අවසාන දුම්රිය ස්ථානය යි. එතැනින් ඔබ්බට භාවිතා වන්නේ ටැබ්ලට් ක්‍රමය යි. එ් අනුව මීගමුවෙන් පිටත් වන දුම්රිය පළමු ටැබ්ලටය රැගෙන යා යුතු යි.

මීගමුව දුම්රිය ස්ථානයේ දෙවන සහ තුන්වන වේදිකා
මීගමුවෙන් පසු දුම්රිය මාර්ගය යළිත් රට තුළට නැඹුරුව ගමන් කරයි. ඉන් පසු හමුවන දුම්රිය ස්ථානය කට්ටුව යි. එය කුඩා දුම්රිය ස්ථානයක් වන අතර එක් වේදිකාවක් පමණක් අැත.

කට්ටුව දුම්රිය ස්ථානය
ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන කොච්චිකඩේ දුම්රිය ස්ථානය මීළඟට හමුවේ. දුම්රිය දෙකක් මාරුවීමට අමතර මාර්ගයක් අැතත් එ් සඳහා වේදිකාවක් නොමැත. එබැවින් අමතර මාර්ගයට දැමිය යුතු දුම්රියක් පළමුව ප්‍රධාන වේදිකාවට ගමන් කර මගීන් බැසීමෙන් සහ නැගීමෙන් අනතුරුව පසු පසට ධාවනය කර නැවත අමතර මාර්ගයට අැතුල් කළ යුතු ය. පුත්තලම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථාන වල මේ තත්වය අැත.

කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ නාම පුවරුව
කොච්චිකඩේ දී සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් දෛනික ගමනාගමනයේ යෙදෙන අතර භාණ්ඩ ප්‍රවාහනය ද බහුලව සිදු වේ.
කොච්චිකඩේ දුම්රිය ස්ථානය

කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ අැති අත්හැර දැමූ දුම්රිය මැදිරි සමූහයක්
කොව්විකඩේ පසුකර මද දුරක් ගමන් කළ විට මා ඔහ හරහා වැටී අැති පාලම හමුවේ. ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මායිම වන්නේ මා ඔය යි. පුත්තලම මාර්ගයේ දී හමුවන එකම දිස්ත්‍රික් මායිම වන්නේ මෙය යි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට ගලා එන මා ඔය යත්තල්ගොඩදී ප්‍රධාන මාර්ගය හරහා ද ගමන් කරයි. මෙතැන් සිට දුම්රිය මාර්ගයේ කෙළවර දක්වාම ගමන් කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කය ඔස්සේ යි.

පුත්තලම දිස්ත්‍රික්කයට අැතුළු වූ පසු මුළින්ම හමුවන්නේ වයික්කාල දුම්රිය ස්ථානය යි. කුඩා දුම්රිය ස්ථානයක් වන මෙහි අැත්තේ එක් මාර්ගයක් සහ වේදිකාවක් පමණි. වයික්කාල දී කොළඹ - පුත්තලම A3 මහා මාර්ගය දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි.  A3 මාර්ගයට සහ පුත්තලම දුම්රිය මාර්ගයට ඇති දෙවන දුම්රිය හරස් මාර්ගය මෙය යි. මෙතැන් සිට හලාවත දක්වාම A3  මාර්ගය ගමන් කරන්නේ දුම්රිය මාර්ගයට වම් පසිනි.

වයික්කාල දුම්රිය ස්ථානයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකුට උපකාර කරන මගියෙක්
මීළඟ දුම්රිය ස්ථානය බෝලවත්ත යි. තරමක් විශාල දුම්රිය ස්ථානයක් වන එහි සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ගමනාගමනයේ යෙදෙයි.

බෝලවත්ත දුම්රිය ස්ථානය
බෝලවත්ත දුම්රිය ස්ථානය
බොරලැස්ස දුම්රිය ස්ථානය මීළඟට හමුවේ. එය එක් වේදිකාවක් පමණක් අැති කුඩා දුම්රිය ස්ථානයකි.

බොරලැස්ස දුම්රිය ස්ථානය
බොරලැස්ස ට පසු හමුවන්නේ ලුණුවිල දුම්රිය ස්ථානය යි. මාර්ග දෙකක් සහිත දුම්රිය ස්ථානයක් වන මෙහි දුම්රිය දෙකකට මාරු වීමේ පහසුකම් පවතී. නමුත් වේදිකා අැත්තේ එකක් පමණි. සාමාන්‍යයෙන් වැඩි මගී පිරිසක් ගමනාගමනයේ යෙදෙන ලුණුවිල දුම්රිය ස්ථානයේ දී භාණ්ඩ හුවමාරුව ද බහුලව සිදුවේ. ලුණුවිල ප්‍රසිද්ධියක් උසුලන්නේ පොල් වගාව සඳහා ය. කොළඹ - පුත්තලම - කුරුණෑගල යන නගර යා කෙරෙන ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශය පොල් වගාව සඳහා වඩාත් උචිත භූගෝලීය සාධක අැතැයි සැලකේ. එබැවින් එය පොල් ත්‍රිකෝණය නමින් හැඳින්වේ. ලුණුවිල පොල් ත්‍රිකෝණයට අයත් වන ප්‍රධාන නගරයක් වන අතර එහි ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ අායතනය පිහිටුවා අැත. එය ලුණුවිල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර හතරක පමණ දුරකින් පිහිටා අැත.

ලුණුවිල දුම්රිය ස්ථානයේ ප්‍රධාන මාර්ගය සහ අමතර මාර්ගය

ලුණුවිල දුම්රිය ස්ථානයේ වේදිකාව
ලුණුවිල දී මාරුවන දුම්රියකට ටැබ්ලටය ලබා දෙමින්
ලුණුවිල ට පසු හමුවන්නේ තුම්මෝදර දුම්රිය ස්ථානය යි. කුඩා දුම්රිය ස්ථානයක් වන මෙය එක් වේදිකාවක් පමණක් අැති උප දුම්රිය ස්ථානයකි. අඩු මගී ගමනාගමනයක් පවතින අතර භාණ්ඩ හුවමාරුව ද එතරම් ප්‍රචලිත බවක් නොපෙනේ.

තුම්මෝදර දුම්රිය ස්ථානය
මීළඟට හමුවන්නේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන නාත්තණ්ඩිය යි. එහි වේදිකා දෙකක් පවතින බැවින් දුම්රිය දෙකකට මාරු වීමට ඉඩ කඩ අැත. නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය අසලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන්නේ මාරවිල සිට උඩුබද්දාව ට දිවෙන මහා මාර්ගය යි. එය උඩුබද්දාව දී යොමුවන්නේ මාදම්පේ - කුලියාපිටිය - නාරම්මල මාර්ගයට යි. නාරම්මලින් කුරුණෑගලට ළඟා විය හැක.

නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය

නාත්තණ්ඩිය දුම්රිය ස්ථානයේ පළමු සහ දෙවන වේදිකා
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ගොඩනැගිලි පරීක්ෂක කාර්යාලයක් නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය අසල පිහිටුවා අැත. එය දුම්රියේ ගමන් කරන විට දර්ශනය වේ.
නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය අසල පිහිටි ගොඩනැගිලි පරීක්ෂක කාර්යාලය
නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය ප්‍රමාණයෙන් විශාල වන අතර එහි වැඩි මගී පිරිසකට රැඳී සිටීමට ඉඩ පහසුකම් අැත. භාණ්ඩ හුවමාරුව ද බහුලව සිදු වේ.
නාත්තණ්ඩිය දුම්රිය ස්ථානයේ දී භාණ්ඩ හුවමාරු කෙරෙමින්
නාත්තණ්ඩියට පසු හමුවන්නේ වලහපිටිය යි. එක් මාර්ගයක් එක් වේදිකාවක් පමණක් එහි අැත.

වලහපිටිය දුම්රිය ස්ථානය

වලහපිටිය දුම්රිය ස්ථානය
මීළඟ දුම්රිය ස්ථානය කුඩාවැව යි. එහි මාර්ග දෙකක් අැති මුත් වේදිකා අැත්තේ එකක් පමණි. එබැවින් දුම්රිය දෙකක් මාරු වන අවස්ථාවකදී මුළින් සඳහන් කළ ප්‍රමාදය අැති වේ.

කුඩාවැව දුම්රිය ස්ථානය
කුඩාවැව දී සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ගමනාගමනයේ යෙදෙන බවක් දක්නට නොලැබේ.

කුඩාවැව දුම්රිය ස්ථානය
මීළඟ දුම්රිය ස්ථානය නෙළුම් පොකුණ යි. එය මෑතකදී ඉදිවූ උප දුම්රිය ස්ථානයකි.

නෙළුම් පොකුණ දුම්රිය ස්ථානයේ නාම පුවරුව

නෙළුම් පොකුණ දුම්රිය ස්ථානය
මීළඟට හමුවන මාදම්පේ දුම්රිය ස්ථානය පුත්තලම දුම්රිය මාර්ගයේ අැති ප්‍රධාන දුම්රිය ස්ථානයකි. ප්‍රධාන මාර්ගයට අමතරව තවත් මාර්ග දෙකක් එහි අැත. නමුත් වේදිකා අැත්තේ එකක් පමණි. එබැවින් මෙහිදී ද දුම්රිය දෙකක් මාරු වන අවස්ථාවේ දී දුම්රිය දෙවරක් දුම්රිය ස්ථානයට අැතුල් කිරීමේ ප්‍රමාදය සිදුවේ.

මාදම්පේ දුම්රිය ස්ථානයේ දී දක්නට ලැබුණු අත්හැර දමා අැති දුම්රිය මැදිරි සමූහයක්
මාදම්පේ දුම්රිය ස්ථානය අසලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන්නේ මාදම්පේ - කුලියාපිටිය - නාරම්මල මහා මාර්ගය යි. එම මාර්ගයෙන්ම වම් පසට දිවෙන මාර්ගය හලාවත - වාරියපොල මාර්ගයට සම්බන්ධ වේ. එසේම කොළඹ - පුත්තලම A3 මාර්ගයට මාදම්පේ දුම්රිය ස්ථානයේ සිට අැත්තේ කිලෝමීටර දෙකක් පමණ දුරකි. එබැවන් මාදම්පේ යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් යා කෙරෙන මහා මාර්ග වලට මැදි වූ වැදගත් ස්ථානයකි.
මාදම්පේ දුම්රිය ස්ථානය
මාදම්පේ පසු කළ විට කාක්කපල්ලිය දුම්රිය ස්ථානය හමු වේ. එය එක් වේදිකාවක් පමණක් අැති කුඩා දුම්රිය ස්ථානයකි. මෙතැන් සිට හලාවත කලපුව දුම්රිය මාර්ගයේ වම් පසින් පිහිටන නමුත් දුම්රියේ ගමන් කරන විට එය දර්ශනය නොවේ.

කාක්කපල්ලිය දුම්රිය ස්ථානයේ නාම පුවරුව
කාක්කපල්ලිය හිදී දුම්රිය මාර්ගය හරහා දිවෙන මාර්ගය වැටෙන්නේ හලාවත - වාරියපොල මාර්ගයට මාදම්පේ සිට වැටී අැති මාර්ගයට යි.

කාක්කපල්ලිය දුම්රිය ස්ථානය
මීළඟට හමුවන්නේ සවරාන උප දුම්රිය ස්ථානය යි. එය මෑතකදී ඉදිවූවකි.

සවරාන දුම්රිය ස්ථානය
මීළඟට පුත්තලම මාර්ගයේ ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් වන හලාවත හමු වේ. හලාවත ට පෙර කොළඹ - පුත්තලම A3 මහා මාර්ගය දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. මෙතැන් සිට හලාවත දුම්රිය ස්ථානය පසුවනතුරු A3 මාර්ගය පිහිටන්නේ දුම්රිය මාර්ගයේ දකුණු පසිනි.
හලාවත දුම්රිය ස්ථානයට ළඟා වත්ම හලාවත කලපුව මුහුදට යා වන පටු මුහුදු තීරය දර්ශනය වේ.

හලාවත දුමරිය ස්ථානයේ අැති අමතර මාර්ග. පසුබිමෙන් පෙනෙන්නේ පටු මුහුදු තීරය යි.
හලාවත යනු ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන නගරයකි. දුම්රිය ස්ථානයට වම් පසින් දිස්වන්නේ හලාවත ධීවර වරායයි. එම පටු මුහුදු තීරයෙන් අනෙක් පස ගොඩබිම් පෙදෙසට යාමට පාලමක් තනා ඇති අයුරු දැක ගත හැක. ඒ ආසන්නයේ ම හලාවත මාළු වෙළෙඳ සැලද පිහිටා ඇත.

හලාවත දුම්රිය ස්ථානයේ සංඥා මැදිරිය
හලාවත දුම්රිය ස්ථානයට කොළඹ කොටුවේ සිට දෛනික දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වේ. එබැවින් හලාවත දී ගාල් කර ඇති දුම්රියක් හෝ දෙකක් දැකගැනීමට ලැබීම සාමාන්‍ය දෙයකි.

හලාවත දුම්රිය ස්ථානය
හලාවත දුම්රිය ස්ථානය සාමාන්‍යයෙන් කාර්යබහුල දුම්රිය ස්ථානයකි. විශාල දුම්රිය ස්ථානයක් වන එහි මුළින් සඳහන් කළ පරිදි දුම්රිය ගාල් කිරීමක් සිදු වන බැවින් ප්‍රධාන දුම්රිය මාර්ගයට අමතරව තවත් මාර්ග තුනක් ද ඇත. වේදිකා ඇත්තේ එකක් පමණි. එබැවින් දුම්රිය මාරු වන අවස්ථා වලදී සුළු ප්‍රමාදයක් ඇතිවන්නේ මගීන් සඳහා වේදිකාවට ඇතුල් කර පසුපසට ධාවනය කර නැවත අමතර මාර්ගයට ඇතුල් කළ යුතු බැවිනි. මෙම ක්‍රියාවලිය පුත්තලම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථාන වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි.

හලාවත දී දුම්රිය පසු පසට ධාවනය කරන අයුරු. වීඩියෝ ගත කරේ දුම්රියේ පසු පස මැදිරියේ සිටයි. එවිට අප දුම්රිය ඉදිරියට ධාවනය කරනවා යැයි හැඟේ.




හලාවත දුම්රිය ස්ථානයට පෙනෙන කලපු පෙදෙස
හලාවත දුම්රිය ස්ථානයේ වේදිකාව පිහිටා ඇත්තේ වංගුවක ය. එබැවින් පුත්තලම දෙසින් පැමිණෙන දුම්රියක් වේදිකාවේ රැඳී සිටින්නන් හට එකවර දර්ශනය නොවේ. එම නිසා අමතර මාර්ගයට ඇතුල් කළ දුම්රියකට ගොඩවීමට බලාපොරොත්තු වන මගීන් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු ය.

හලාවත දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව

හලාවත ධීවර වරාය
හලාවත ධීවර වරාය
හලාවත පසුකර යන විට නැවතත් කොළඹ - පුත්තලම A3 මහා මාර්ගය දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. ඒ A3 මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගය හමුවන තුන්වන දුම්රිය හරස් මාර්ගය යි. මෙතැන් සිට යළිත් A3 මාර්ගය පිහිටන්නේ දුම්රිය මාර්ගයට වම් පසිනි. දුම්රිය හරස් මග පසු කර මද දුරකින් මානුවන්ගම උප දුම්රිය ස්ථානය හමු වේ. එය කුඩා දුම්රිය ස්ථානයක් වන අතර වේදිකා ඇත්තේ එකකි.
මානුවන්ගම දුම්රිය ස්ථානය. පනස්හතර වන සැතපුම් කණුව දිස්වේ.
මානුවන්ගම පසුකරනවාත් සමගම දැදුරු ඔය හරහා වැටී ඇති පාලම දක්නට ලැබේ. දැදුරු ඔය මුහුදට යා වීමට ආසන්න බැවින් මේ ප්‍රදේශයේදී සෑහෙන පළලකින් යුක්තය. ඒ නිසාම පාලම ද දිගින් වැඩි ය. දැදුරු ඔය යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ විශාල භූමි ප්‍රදේශයක් සශ්‍රීක කරමින් ගලා එන ජල දහරාවකි. එය හලාවතින් මුහුදට යා වේ. දැදුරු ඔය පාදක කරගනිමින් ඉදි වුනු දැදුරු ඔය ජලාශය විශාල භූමි ප්‍රදේශයකට කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයෙන ව්‍යාපෘතියකි.

දැදුරු ඔය
දැදුරු ඔය පුත්තලම මාර්ගයට වැදගත් වන විශේෂ කරුණක් ඇත. එනම් හලාවත දක්වා මාර්ගය දෙපස දක්නට ලැබුණු පාරිසරික ලක්ෂණ දැදුරු ඔය පසු කිරීමත් සමග සැලකිය යුතු මට්ටමින් වෙනස් වේ. දුම්රිය මගියෙකු ලෙසට මේ වෙනස පැහැදිලිව දක්නට ලැබෙන්නේ ගස් වැල් වල පැහැය වෙනස් වීමෙනි. එය මෙතෙක් තිබූ සජීවී කොළ පැහැය වෙනස් වී තරමක ශුෂ්ක පෙනුමක් දක්නට ලැබීමකි. අවටින් හමන සුළඟ ද වියළි ස්වභාවයක් ගනියි. සැබැවින්ම මේ සිදුවන්නේ දේශගුණ කලාප වෙනස් වීමකි. රාගම සිට තෙත් කලාපය හරහා පැමිණි දුම්රිය හලාවත ආසන්නයේ දී වියළි කලාපයට ඇතුළු වෙයි. එහි ලක්ෂණ මනා ලෙස දිස්වන්නේ දැදුරු ඔය පසු කිරීමෙන් අනතුරුව යි. මෙතැන් සිට පුත්තලම දක්වාම මාර්ගය දිවෙන්නේ වියළි කලාපය ඔස්සේ යි. දැදුරු ඔය පාලම පසු කර ඉදිරියට ඇදෙන විට මුලින්ම හමුවන්නේ බංගදෙණිය දුම්රිය ස්ථානය යි. එහි අවට පරිසරය වෙනස් ම මුහුණුවරක් ගනියි. වියළි කලාපයට ආවේනික වෘක්ෂලතා ලක්ෂණ වන කුඩා පත්‍ර වලින් සමන්විත ගස් මෙහි බහුලය.
බංගදෙණිය දුම්රිය ස්ථානය
ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන බංගදෙණියේ අමතර මාර්ගයක් ඇති මුත් වේදිකා ඇත්තේ එකකි. තවත් මාර්ගයක් ඇතත් එය භාවිතා වන බවක් දක්නට නොලැබේ. එහි අත්හැර දැමූ දුම්රිය මැදිරි කිහිපයක් පමණක් ඇත.
බංගදෙණිය දුම්රිය ස්ථානය

බංගදෙණිය දුම්රිය ස්ථානය

බංගදෙණිය දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන අත්හැර දැමූ දුම්රිය මැදිරි කිහිපයක්
බංගදෙණිය පසුකරන විට නැවතත් A3 මහා මාර්ගය දුම්රිය මාර්ගය හරහා දිවෙයි. ඒ A3 මාර්ගයට හරස් මාර්ගයක් හමුවන සිව්වන අවස්ථාවයි. මෙතැන් සිට පුත්තලමට ළඟාවන තුරුම A3 මාර්ගය දුම්රිය මාර්ගයට දකුණු පසින් ඉතා ආසන්නව ඉදිරියට ඇදෙයි.

බංගදෙණියේදී A3 මහා මාර්ගය හමුවන අවස්ථාව
මීළඟට හමුවන්නේ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානය යි. එය එක් වේදිකාවක් පමණක් ඇති කුඩා දුම්රිය ස්ථානයකි. මාර්ගය දෙපස දක්නට ඇත්තේ ලඳු කැළෑව යි.

ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානය

ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයේ නාම පුවරුව
මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ තනි කෙලින් විහිදුනු දුම්රිය මාර්ගය යි. එබැවින් මාර්ගය ඔස්සේ බොහෝ දුරක් එකවර දැකගත හැක.

ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය දිස්වන අයුරු
ආරච්චිකට්ටුව පසුකරනවාත් සමගම මාර්ගයේ වම් පසට හමුවන්නේ 'ආනවිලුන්දාව' අභය භූමිය යි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව 1997 වසරේ ජූනි මස 11 වන දින අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ආනවිලුන්දාව හෙක්ටාර 1397 ක වපසරියකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ අභය භූමියක් යනු රජයේ ඉඩම් වලින් පරිබාහිරව වන සතුන්ගේ ආරක්ෂාව සහතික කර ඇති භූමි ප්‍රදේශ යි. මිනිස් ක්‍රියාකාරකම් සඳහා ද ඉඩ දී ඇති බැවින් අභය භූමියකට ඇතුල් වීමට අවසර ලබාගැනීමක් අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් යම් වනාන්තර ප්‍රදේශයක එයට ආවේනික හෝ රටට ආවේනික සතුන් සිටියි නම් ඔවුන් ආරක්ෂා කිරීමට ගැසට් නිවේදනයක් මගින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ආනවිලුන්දාව ද එලෙසින් රටට ආවේනික සතුන් පිරිසකට නිවහනක් වේ. ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලන් මෙන්ම සංචාරක කුරුල්ලන් ද ගැවසෙන මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් වෙරළ තීරයත් මිරිදිය ජලාශත් එකම ප්‍රදේශයක පැතිරී තිබීමයි. එබැවින් විශාල ජෛව විවිධත්වයකට ආනවිලුන්දාව හිමිකම් කියයි.
අභය භූමිය අසලදීම ආනවිලුන්දාව දුම්රිය ස්ථානය හමු වේ. එය එක් වේදිකාවක් පමණක් ඇති කුඩා දුම්රිය ස්ථානයකි.

ආනවිලුන්දාව දුම්රිය ස්ථානය

ආනවිලුන්දාව දුම්රිය ස්ථානය

ආනවිලුන්දාව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන
මීළඟට හමුවන්නේ බත්තුලුඔය දුම්රිය ස්ථානයයි. එහි ඇත්තේ එක් වේදිකාවක් වූවත් තරමක් විශාල දුම්රිය ස්ථානයකි.

බත්තුලුඔය දුම්රිය ස්ථානය
තවත් කුඩා දුම්රිය ස්ථානයක් වන පුලිච්චකුලම මීළඟට හමු වේ.
පුලිච්චකුලම දුම්රිය ස්ථානය
පුලිච්චකුලම පසුකරනවාත් සමගම මාර්ගයේ වම් පසින් දිස්වන්නේ මුන්ඩල් කලපුව යි. මුන්ඩල් දුම්රිය ස්ථානයද කලපුව පෙනෙන මානයේදීම හමු වේ.

මුන්ඩල් කලපුව
මුන්ඩල් කලපුව
මුන්ඩල් දුම්රිය ස්ථානය විශාල එකකි. එහි අමතර මාර්ගයක් ද පවතින අතර එක් වේදිකාවක් පමණක් ඇත. භාණ්ඩ ප්‍රවාහනයද බහුලව සිදු කෙරෙන බවක් දක්නට ලැබේ.

මුන්ඩල් දුම්රිය ස්ථානය

මුන්ඩල් දුම්රිය ස්ථානයේ ප්‍රධාන මාර්ගය සහ අමතර මාර්ගය

මුන්ඩල් දුම්රිය ස්ථානය
මුන්ඩල් දුම්රිය ස්ථානයෙන් ඉදිරියටත් මුන්ඩල් කලපුව දිස් වේ. මුන්ඩල් කලපුව පුත්තලම කලපුවට පටු ඇල මාර්ගයකින් සම්බන්ධ වේ. එහි ජලයේ ලවණ සාන්ද්‍රනය සාගර ජලයට වඩා අඩු ය. ඍජුව සාගරයට සම්බන්ධ නොවූ මෙවන් කලපු වල ලවණ සාන්ද්‍රනය අඩු වීම සාමාන්‍ය ලක්ෂණයකි. තවත් අයුරකින් කියතොත් ගොඩබිම තුළ පිහිටි ලවණ ජලය පිරුණු විලක් බඳුය. මුන්ඩල් කලපුව අවට ඉස්සන් කර්මාන්තය ද ලුණු නිෂ්පාදනය ද බහුලව සිදු කෙරේ.‍ මේ කරුණු නිසා මුන්ඩල් ප්‍රදේශය පාරිසරික වශයෙන් ඉහල වැදගත්කමක් උසුලයි.

මුන්ඩල් කලපුව


මුන්ඩල් කලපුව



මුන්ඩල් කලපුව
මීළඟට හමුවන්නේ මංගලඑළිය උප දුම්රිය ස්ථානයයි. එක් වේදිකාවක් පමණක් ඇති එය කුඩා දුම්රිය ස්ථානයකි.

මංගලඑළිය දුම්රිය ස්ථානය
මීළඟට මදුරන්කුලිය දුම්රිය ස්ථානය හමු වේ. එහි ඇත්තේ එක් වේදිකාවක් පමණි. නමුත් දුම්රිය ස්ථානය සහ වේදිකාව සෑහෙන විශාලත්වයකින් යුක්තය. විශාල මගී සංඛ්‍යාවකට එකවර රැඳී සිටීමට එහි ඉඩ පහසුකම් පවතී.

මදුරන්කුලිය දුම්රිය ස්ථානය

තනි කෙලින් විහිදුනු දුම්රිය මාර්ගය
මදුරන්කුලියේදී අතහැර දැමූ දුම්රිය මැදිරි කිහිපයක් දක්නට ලැබේ. එය කිනම් කරුණක් නිසා එහි දමා ඇත්දැයි නිගමනය කළ නොහැක.

මදුරන්කුලියේදී දක්නට ලැබෙන අතහැර දැමූ දුම්රිය මැදිරි කිහිපයක්
මදුරන්කුලිය ප්‍රදේශයේ ජල අවශ්‍යතා සදහා තැනුනු ජල ටැංකිය
මදුරන්කුලිය ආසන්නයේදී අධිසැර විදුලි සම්ප්‍රේෂණ රැහැනක් දක්නට ලැබේ. ඒ නොරොච්චෝල විදුලි බලාගාරයේ සිට වේයන්ගොඩ  උපපොළ දක්වා දිවෙන වෝල්ට් 220000 සම්ප්‍රේෂණ රැහැන යි.

නොරොච්චෝල විදුලි බලාගාරයේ සිට දිවෙන සම්ප්‍රේෂණ රැහැන්

නොරොච්චෝල විදුලි බලාගාරයේ සිට දිවෙන සම්ප්‍රේෂණ රැහැන්
මීළඟට හමුවන්නේ එරුක්කලම්පිඩි - නාගවිල්ලු දුම්රිය ස්ථානයි. එය එක් වේදිකාවක් පමණක් ඇති කුඩා දුම්රිය ස්ථානයකි.

එරුක්කලම්පිඩි - නාගවිල්ලු දුම්රිය ස්ථානය
මීළඟට පුත්තලම කලපුව සම්බන්ධ තවත් වැදගත් ස්ථානයක් හමු වේ. ඒ කොළඹ - පුත්තලම මාර්ගයේ ඇති පාලාවි හන්දිය යි.‍ පුත්තලම කලපුවේ සාගරය දෙසට වන්නට ඇති පටු ගොඩබිම් තීරුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ආරම්භ වන්නේ පාලාවි හන්දියෙනි. එම මාර්ගය පාලාවි හන්දියෙන් පටන් ගෙන දුම්රිය මාර්ගය හරහා ද ගොස් පුත්තලම කලපුවේ බටහිර ගොඩබිම් තීරුව ඔස්සේ ගමන් කර කල්පිටියෙන් අවසන් වේ. නොරොච්චෝල විදුලි බලාගාරයට පිවිසීමට ද ගමන් කළ යුත්තේ මෙම මාර්ගයෙනි.
පාලාවි දුම්රිය ස්ථානය මීළඟට හමු වේ. එය වේදිකා දෙකකින් සමන්විත විශාල දුම්රිය ස්ථානයකි.

පාලාවි දුම්රිය ස්ථානය

පාලාවි දුම්රිය ස්ථානයේ රේල් පාර මාරුකරවන ලීවර

පාලාවි දුම්රිය ස්ථානය
පාලාවි දුම්රිය ස්ථානය පසු කරනවාත් සමගම දකුණු පසට තවත් දුම්රිය මාර්ගයක් විහිදී යන අයුරු දක්නට ලැබේ. ඒ හොල්සිම් සිමෙන්ති කර්මාන්ත ශාලාවට දිවෙන මාර්ගය යි. මෙම මාර්ගය කිලෝමීටර තුනක් පමණ රට අභ්‍යන්තරයට විහිදී යයි. එහි නඩත්තු කටයුතු භාරව ඇත්තේ එම සමාගමට ම බැවින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු මාර්ගයක් ලෙස එය නම් කළ නොහැක‍.

පාලාවි සිට හොල්සිම් සිමෙන්ති කර්මාන්ත ශාලාවට පිවිසෙන දුම්රිය මාර්ගය
පාලාවි වලින් පසු හමුවන්නේ තිල් අඩිය නම් කුඩා උප දුම්රිය ස්ථානයකි. එහි වේදිකා ඇත්තේ එකක් පමණි. මෙතැන් පටන් මාර්ගයේ වම් පසින් පුත්තලම කලපුව පිහිටයි. කලපුවේ අනෙක් පස පිහිටි නොරොච්චෝල විදුලි බලාගාරය ඈතින් දර්ශනය වේ.
තිල් අඩිය දුම්රිය ස්ථානය

පුත්තලම කලපුවට වැටෙන කුඩා දිය පහරකට ඇති පාලමක්
තිල් අඩිය ට පසු පුත්තලම දුම්රිය ස්ථානයට පිවිසෙයි.

පුත්තලම දුම්රිය ස්ථානයට පිවිසෙන ස්ථානයේ පීලි මාරුකරන අයුරු

පුත්තලම දුම්රිය ස්ථානයට පිවිසෙමින්
පුත්තලම දුම්රිය ස්ථානයේ වේදිකා දෙකකි. ප්‍රමාණයෙන් ඉතා විශාල දුම්රිය ස්ථානයක් වන පුත්තලම කාර්ය බහුලත්වයෙන් නම් අඩු ය. එයට ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැකි වනුයේ පුත්තලම හා ඒ අවට ජනතාව මීගමුව සහ කොළඹ වැනි ප්‍රදේශ වලට ළඟා වීම සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස බස් රථ යොදා ගැනීමයි.

දිගු ගමනක් නිම කිරීමෙන් පසුව පැමිණෙන දුම්රිය එන්ජින් වල සේවා කටයුතු සඳහා කුඩා ධාවනාගාරයක් පුත්තලමේ ඇත. සාමාන්‍ය දෛනික ගමන් වාරයක් සඳහා පුත්තලමට පැමිණි දුම්රිය එන්ජිමට අමතරව තවත් එන්ජින් එකක් හෝ දෙකක් එහි ඇත. නිරන්තරයෙන් නොවුනත් සිමෙන්ති කර්මාන්තශාලාවට හුණුගල් ප්‍රවාහනය කෙරෙන විශේෂ ගැල් සහිත දුම්රියක් ද දැකගත හැක. කලාතුරකින් හොල්සිම් සමාගමට අයත් දුම්රිය එන්ජින් ද හමු වේ.‍

පුත්තලම දුම්රිය ස්ථානය


පුත්තලම දුම්රිය ස්ථානය


පුත්තලම දුම්රිය ස්ථානය

පුත්තලමේ නවතා තිබූ M4 වර්ගයේ එන්ජිම

පුත්තලම දුම්රිය ස්ථානයේ නවතා ඇති හුණුගල් ප්‍රවාහන ගැල්

කොළඹ කොටුව සිට පුත්තලමට පැමිණි දුම්රිය

පුත්තලම මාර්ගයේ මගී ප්‍රවාහනය අවසන් වන අන්තිම දුම්රිය ස්ථානය වන්නේ පුත්තලම සිට කිලෝමීටර 1.5 ක පමණ දුරකින් පිහිටි නූර් නගර් දුම්රිය ස්ථානය යි‍. පුත්තලම මාර්ගයේ පර්යන්ත දුම්රිය පොලක් කරා ළඟා විය නොහැක. එබැවින් මෙම දුම්රිය චාරිකාව අවසන් වන්නේ නූර් නගර් දුම්රිය ස්ථානයෙනි. එය කුඩා ප්‍රමාණයේ දුම්රිය ස්ථානයකි. ඇත්තේ එක් වේදිකාවක් පමණි. දිනකට එක් දුම්රියක් පමණක් ධාවනය වන අතර අනෙකුත් වේලාවන්හිදී මෙතැන ගම්වැසියන්ට සතුටු සාමීචියේ යෙදීමට අවකාශ ලැබී ඇත. නූර් නගර් යනු කුඩා  ගම්මානයකි. මුලුමනින්ම මුස්ලිම් වැසියන් එහි ජනාවාස කොටගෙන ඇත. පුත්තලම - අනුරාධපුර පාරේ දුම්රිය හරස් මාර්ගය අසලින් උතුරු දෙසට දිවෙන පටු පාරකින් නූර් නගර් වෙත ළඟා විය හැක.


නූර් නගර් දුම්රිය ස්ථානය
නූර් නගර් වලින් ඔබ්බට දුම්රිය මාර්ගය දිවන ආකාරය එහි සිට නිරීක්ෂණය කරන්නෙකුට මනාව දර්ශනය වේ. නමුත් මගී ප්‍රවාහනය සඳහා මාර්ගය මෙතැනින් අවසන් වේ. නූර් නගර් වේදිකාවේ කෙළවර ඇති පුවරුවේ සඳහන් වන්නේ එතැන් සිට ක්‍රියාත්මක වන සංඥා කොට්ඨාසය NOR - KPL ලෙසිනි. එහි අර්ථය නූර් නගර් සහ කරදිපූවල් අතර කොට්ඨාසය බවයි.

නූර් නගර් දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ඇදෙන මාර්ගය

නූර් නගර් දුම්රිය ස්ථානය

නූර් නගර් සිට පුත්තලම දෙසට දිවෙන මාර්ගය
නූර් නගර් දුම්රිය ස්ථානයෙන් ඔබ්බට ගමන් කරන එකම දුම්රිය හොල්සිම් සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රිය යි. පුත්තලම - අනුරාධපුර මහා මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අසලදී එවැනි දුම්රියක් දැක ගැනීමට අප වාසනාවන්ත විය. මේ එහි වීඩියෝ දර්ශන යි.



චාරිකාවේ අවසානය නූර් නගර්හිදී සිදුවූවත් ප්‍රධාන නගරය වන පුත්තලම පිළිබඳ යම් සවිස්තර සටහනක් තැබීම උචිත යැයි සිතමි. පුත්තලම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ පුත්තලම නගරයට තරමක් ඈතිනි. නගරයට යාමට අවශ්‍ය නම් පා ගමනින් හෝ ත්‍රිරෝද රථයකින් යා යුතු ය. දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ බස් ගමනාගමනයක් ද නැත. එම මාර්ගයේ මීටර් 500 ක් පමණ දුරක් පැමිණි විට හමුවන්නේ පුත්තලම සිට නිකවැරටිය සහ වාරියපොල හරහා කුරුණෑගලට දිවෙන A10 ප්‍රධාන මාර්ගයයි. පුත්තලම මූළික රෝහල ද ඒ ආසන්නයේම පිහිටා ඇත. එතැන් සිට එම මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ දුරක් බටහිර දෙසට පැමිණි විට වට රවුමක් හමුවේ. එතැනින් බටහිර දෙසට ගිය විට හමුවන්නේ පුත්තලම නගරය යි‍. වට රවුමෙන් අනෙක්  පසට ඇත්තේ පුත්තලම - අනුරාධපුර A12 මහා මාර්ගය යි. පුත්තලම නගරයෙන් ආරම්භ වන අනෙක් මාර්ගය ඔස්සේ විල්පත්තු වනෝද්‍යානය හරහා මන්නාරමට ළඟා විය හැක‍.

ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් මිනිසුන් වැඩි දෙනෙක් පුත්තලම නගරාසන්නයේ ජීවත් වන බව පෙනේ. නගර මධ්‍යයේ පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය අලෙවි හල නිරතුරුව ජනතාවගෙන් ගැවසී ඇත. පුත්තලම නගරය සාමාන්‍යයෙන් ජනාකීර්ණ වන අතර සියලු පහසුකම් වලින් සමන්විත බව කිව හැක. මුස්ලිම් ජනතාව වැඩියෙන් වාසය කරන බව දක්නට ලැබෙන අතර සිංහල හා දෙමල ජනතාවද වෙසෙන බව පෙනෙයි.

නගරයට ආසන්නවම වෙරළ තීරය ඇතත් එහි රැල්ල පෑගීමට නොහැකි තරමට මුහුදු ජලය අපවිත්‍ර වී ඇත. සාමාන්‍යයෙන් දවසේ ඕනෑම වේලාවක තද සුලං ප්‍රවාහයක් මුහුද දෙසින් නගරයට හමා එයි. වෙරළේ සිටින විට මෙම තද සුළඟ මනා සේ අත්විඳිය හැක. එවන් අතිශය ප්‍රබල සුළඟේ චාලක ශක්තියෙන් කෙතරම් ප්‍රයෝජනයක් ගත හැකි දැයි නිරායාසයෙන් හැඟෙයි. පුත්තලමේ සුළං බලයෙන් ක්‍රියා කෙරෙන විදුලි බල උත්පාදන යන්ත්‍ර පද්ධතියක් පිහිටුවා ඇත්තේ මුළින් සඳහන් කළ අධික සුළං ප්‍රවාහයෙන් ප්‍රයෝජන ගැනීමටය. එවැනි විදුලි බලාගාරයක් තැනීමට මූළික අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇත්තේ අධික සුළං ප්‍රවාහයක් වසරේ වැඩි කාලයක් තුල අඛණ්ඩව හැමීම යි. පුත්තලම එයට කදිම පිහිටීමකි.

පුත්තලම කලපුව
පුත්තලම නගරයේ සිට මුහුද දෙසට වන්නට ඇති වීදිය ඔස්සේ වෙරළ තීරය හමු වේ. කලපුවේ එහා ඉවුර කිලෝමීටර 11 ක් පමණ ඈතින් පිහිටන බැවින් ගොඩබිම පියවි ඇසට නොපෙනෙන නමුත් එහි පිහිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරය දර්ශනය වේ. එහි ඇති දැවැන්ත බොයිලේරු තුනෙන් ඉහළට විහිදුනු පිටාර නළ තුන හඳුනාගත හැක. මෙම විදුලි බලාගාරය ගල් අඟුරු වලින් බල ගැන්වෙන තාප විදුලි බලාගාරයකි (Coal fired thermal power station). එහි අදියර තුනක් ඇති අතර සම්පූර්ණ උත්පාදන ධාරිතාව මෙගා වොට් 900 ක් වේ. එයින් උත්පාදනය කෙරෙන විදුලිය වෝල්ට් 220 000 (220 kV) අධි සැර සම්ප්‍රේෂණ රැහැන් මගින් වේයන්ගොඩ සහ නව අනුරාධපුර කොටුමා උපපොල වෙත (Grid sub station) සම්ප්‍රේෂණය කරනු ලැබේ.

නොරොච්චෝල විදුලි බලාගාරය පුත්තලමට පෙනෙන අයුරු. ඡායාරූපය ගත් තැන සිට බලාගාරයට දුර කිලෝමීටර 11 පමණ වේ. (Google maps ඇසුරින් දුර ගණනය කරන ලදී)

පුත්තලම කලපුවේ දර්ශනයක්
පුත්තලම කලපුවේ ජලය බෙහෙවින් අපවිත්‍ර වී ඇත. බැලූ බැල්මට ම පෙනෙන්නේ ජලය කළු පැහැ ගැන්වී ඇති බවයි. නොරොච්චෝල විදුලි බලාගාරය නිසා මේ පරිසර විනාශය සිදුව ඇතැයි අනුමාන කළ හැක. සාමාන්‍යයෙන් ගල් අඟුරු දහනයෙන් නිකුත් වන අධික දුමාරය (Fly Ash) බලාගාරය අවට පරිසරයට එකතු වේ. මෙය බරපතල පාරිසරික ගැටලුවකි. නමුත් රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නිපදවන්නේ තාප බලාගාර වලිනි. ලාබදායී බැවින් අප වැනි රටකට ළඟා විය හැකි විසඳුම වන්නේ ද ගල් අඟුරු ශක්තිය යි.

කැලි කසල නිසා අපවිත්‍ර වී ඇති පුත්තලම කලපුව

පුත්තලම කලපු තීරයේ ඇති ධීවර යාත්‍රා

පුත්තලමේ ප්‍රදීපාගාරයක්. අත්හැර දමා ඇත.

පුත්තලම සුලං බල විදුලි ජනක යන්ත්‍ර

නොරොච්චෝල සුලං බල විදුලි ජනක යන්ත්‍ර

නොරොච්චෝල සිට විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන අධිබල විදුලි රැහැන්
පුත්තලම යනු වෙනස්ම පරිසර පද්ධතියක් දක්නට ලැබෙන ප්‍රදේශයකි. වියළි දේශගුණයක් සහිත වන අතර අර්ධ ශුෂ්ක ලක්ෂණ පෙන්නුම් කරයි. දේශගුණ තත්ත්ව අධ්‍යයනය කරන්නන් සහ විවිධ පරිසර පද්ධති පිළිබඳ උනන්දුවක් දක්වන්නන් හට මෙන්ම සංචාරකයන් හට ද පුත්තලමට දුම්රියෙන් ළඟා වීම යෝග්‍ය යැයි කිව හැක. උදෑසන කොළඹ කොටුවෙන් පිටත් ව පැය තුනක පමණ කාලයක් පුත්තලමේ ගත කිරීමෙන් පසු රාත්‍රී නවය පමණ වන විට නැවත කොළඹට ළඟා විය හැක. දුම්රිය පිළිබඳ උන්නදුවක් දක්වන අයට ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් නොවන හොල්සිම් සමාගමේ දුම්රිය එන්ජින් දැකගැනීමට නම් පුත්තලමට පැමිණිය යුතුම ය.
කාරණා කිහිපයකින් සුවිශේෂ වූ පුත්තලම දුම්රිය මාර්ගය ගැන ලියැවුනු මේ චාරිකා සටහන මෙතැනින් නිමා වේ.



Creative Commons License
පුත්තලම මාර්ගය - චාරිකා සටහන් by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.