Sunday, July 12, 2015

කැළණි වැලී මාර්ගය - චාරිකා සටහන්


චාරිකා සටහන් ආරම්භ කරමින් පළමු ලිපිය ලෙස කැළණි වැලී මාර්ගය ගැන ලියැවෙන වගයි.‍

කැළණි වැලී මාර්ගයට එ් නම ලැබීමට හේතුව සොයා බැලීම වැදගත් යැයි සිතමි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදි වූ මේ මාර්ගය දිවෙන්නේ කැළණි ගංගා නිම්නයට සමාන්තරව ය. එබැවින් "කැළණි මිටියාවතේ දුම්රිය මාර්ගය" ඉංග්‍රීසි බසින් Kelani Valley Railway Line නම් විය. මුළින් ලැබුනු ඉංග්‍රීසි වදන සිංහලයට නැගුනේ ද එලෙසම ය. එනම් "කැළණි වැලි දුම්රිය මාර්ගය" යි.

ලංකාවේ දුම්රිය මාර්ග අතුරින් කැළණි වැලී මාර්ගය සුවිශේෂී වනුයේ එය මුළුමනින්ම එක් දිස්ත්‍රික්කයක් තුළ පමණක් විහිදී තිබීමයි. දිගින් අඩුම දුම්රිය මාර්ග අතරෙන් දෙවැනි වනුයේ මිහින්තලේ මාර්ගයට සහ මාතලේ මාර්ගයට පමණි. එහෙත් මිහින්තලේ මාර්ගයේ දුම්රිය ස්ථාන ඇත්තේ මංසන්ධියේත් ගමනාන්තයේත් පමණක් බැවින් සහ දුම්රිය ධාවනය වන්නේ වසරේ ඉතා කෙටි කාලයක් තුළ පමණක් (පොසොන් වන්දනා දින වල පමණක්) බැවින් දෛනික ගමනාගමනය සිදුවන මාර්ග අතර දෙවැනි දිගින් අඩුම මාර්ගය ලෙස කැළණි වැලී මාර්ගය හැඳින්වීමෙහි වරදක් නැතැයි සිතමි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙබ් අඩවියට අනුව මරදාන සිට අවිස්සාවේල්ලට අැති දුර කිලෝමීටර 59.277 කි. මාතලේ මාර්ගය දිගින් අඩු වූවත් එය දිස්ත්‍රික්ක දෙකක් හරහා දිවෙයි.

කැළණි වැලී මාර්ගය සුවිශේෂ වන අනෙක් කරුණ නම් එය අතීතයේ පටු ආමාන (Narrow gauge) මාර්ගයක් වීමයි. නවීකරණ වැඩසටහන යටතේ පුළුල් ආමාන මාර්ගයකට පරිවර්තනය කරන ලදී. සාමාන්‍යයෙන් පටු ආමාන මාර්ග තැනුනේ ඉතා තියුණු වංගු සහ අඩු ඉඩකින් යුක්ත වුනු ප්‍රදේශ සඳහායි. කැළණි වැලී මාර්ගයේ ගමන් කරන්නෙකුට මදක් අවධානයෙන් සිටියහොත් එහි ඇති තියුණු වංගු සහිත බව අවබෝධ කර ගත හැක. වැදගත් කරුණ වන්නේ පුළුල් ආමානයට පරිවර්තනය කිරීමේදී එදා පැවති වංගු සියල්ලක්ම පාහේ එලෙසින්ම භාවිතා කිරීමය‍ි. එබැවින් පුළුල් ආමානයට සැකසුණු සමහර දුම්රිය මෙහි ධාවනය කරන්නේ නැත. දුම්රිය මැදිරි දිගින් වැඩි වත්ම වංගු ගැනීමට අවශ්‍ය අවම අරය ද වැඩිවේ. මෙම ලිිපිය ලියන වකවානුව වන විට (2015-06-25) කැළණි වැලී මාර්ගයේ ධාවනය වන්නේ S8 සහ S12 බලවේග දුම්රිය පමණි.

 කැළණි වැලී මාර්ගයේ මුළුමනින්ම භාවිතා වන්නේ පැරණි ටැබ්ලට් සංඥා ක්‍රමය යි. පළමු සංඥා කොට්ඨාසය (Signal Block Section) මරදාන සහ බේස්ලයින් පාර අතර පවතී. (ටැබ්ලට් සංඥා ක්‍රමය පිළිබඳ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න)  එ් අනුව කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රිය පළමු ටැබ්ලටය මරදානෙන් ලබා ගනියි.මරදාන දුම්රිය ස්ථානයේ 9 සහ 10 වේදිකා මැද කැළණි වැලී දුම්රිය මාර්ගය සඳහා වෙනම දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) කාර්යාලයක් අැත.

මරදාන දුම්රිය ස්ථානයේ කැළණි වැලී දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) කාර්යාලය
අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය බහුලව සිදුවූ සමයේ වෙනම භාණ්ඩ ප්‍රවාහන ගැල් භාවිතා කළ අතර වර්තමානයේ සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රිය තුළට ම භාණ්ඩ පැටවීම සිදු කෙරේ. උදෑසන 8.50 ට මරදාන සිට අවිස්සාවේල්ල බලා ගමන් ගන්නා දුම්රියේ මගී තදබදය ඉතා අඩු බැවින් එය භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනේ. එම දුම්රිය අාපසු එන ගමනේදී ද කොළඹ දෙසට භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරේ.


දුම්රිය ස්ථාන ලැයිස්තුව
  1. මරදාන (සන්ධිය)
  2. බේස්ලයින් පාර
  3. කොටා පාර
  4. නාරාහේන්පිට
  5. කිරුළපන
  6. නුගේගොඩ
    • පැඟිරිවත්ත (නැවතුම් පොල)
  7. උඩහමුල්ල
  8. නාවින්න
  9. මහරගම
  10. පන්නිපිටිය
  11. කොට්ටාව
  12. මාලපල්ල
    • හෝමාගම රෝහල
  13. හෝමාගම
  14. පනාගොඩ
  15. ගොඩගම
  16. මීගොඩ
  17. වටරැක
  18. ලියන්වල
  19. පාදුක්ක
    • අරුක්වත්ත
    • අංගම්පිටිය
    • උග්ගල්ල
  20. පින්නවල
    • ගම්මාන
    • මොරකැලේ‍
  21. වග
    • කඩුගොඩ
    • අරපන්ගම
  22. කොස්ගම
    • අළුත් අම්බලම
    • මිරිස්වත්ත
    • හිඟුරල
  23. පුවක්පිටිය
    • පුවක්පිටිය නගරය
    • කිරිවන්දල
  24. අවිස්සාවේල්ල - දුම්රිය මාර්ගයේ කෙළවර


චාරිකාව ගැන

දිනය - 2015 ජූනි මස 17 බදාදා
ගමනාරම්භය - මරදාන දුම්රිය ස්ථානය
පිටත් වීම - පෙ.ව. 8:50 දුම්රිය ගමන් වාරය - අංක 9254 මරදාන සිට අවිස්සාවේල්ල දක්වා දිනපතා ගමනාන්තයට ළඟා වීම - පෙ.ව. 11:35
ආපසු පැමිණීම
අවිස්සාවේල්ලෙන් පිටත් වීම - ප.ව. 12:35 දුම්රිය ගමන් වාරය - අංක 9657 අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා දිනපතා
මරදානට ළඟා වීම - ප.ව. 3:25

චාරිකා තොරතුරු

මරදාන මංසන්ධියක් වූවත් 9 සහ 10 වේදිකාවලින් පිටත් වන දුම්රිය සැලකිය යුතු දුරක් ගමන් කරන්නේ ප්‍රධාන මාර්ගයට සමාන්තරවයි. නමුත් මරදාන දුම්රිය අංගනයට ආසන්න වත්ම කැළණි වැලී මාර්ගය ප්‍රධාන මාර්ගයෙන් දකුණු පසට හැරී ගමන් අරඹයි. මුල් කොටස දිවෙන්නේ කොළඹ නගරයේ ජනාකීර්ණ මෙන්ම දවසේ ඕනෑම වේලාවක කාර්යබහුල ප්‍රදේශ හරහා යි. එනම් දෙමටගොඩ, බොරැල්ල සහ නාරාහේන්පිට ආදී ප්‍රදේශයි. මේ ආසන්නයේ සුවිශේෂී දර්ශනය නම් දුම්රිය මාර්ගය දෙපස අනවසර ඉදිකිරීම් ය. ඒවා කෙතරම් මාර්ගය ආසන්නයට ඉදිකර ඇත්දැයි අදහාගත නොහැක. ගමන් කරන දුම්රිය සහ යාබද පැල්පත් නිවෙස් අතර පරතරය අඟල් 8 හෝ 10 පමණ වන තැන් ද ඇත. පෙර තිබූ පටු ආමාන මාර්ගය පුළුල් කිරීමේදී මෙවැනි තත්වයක් ඇති වූවා විය හැක. නමුත් ඒවා තනා ඇත්තේ පටු ආමාන මාර්ගයට වූවද නොගැලපෙන සේය. බේස්ලයින් පාර සිට කෝට්ටේ පාර දක්වා දුම්රිය ගමන් කරන්නේ අසල පැල්පත් නිවාස වල ගෑවී නොගෑවී ය. කාර්යබහුල කොළඹ නගරයේ  පැල්පත් නිවෙස් අසලින් දිවෙන දුම්රිය කෝට්ටේ පාර පසු කරත්ම නෙත් අදහා ගත නොහැකි දසුන් පෙලක් මවයි. කොළ පැහැති මනාව සැකසූ තණ බිමක් සහ දිය කඩිති රැසක් ඒ අතර වෙයි. මේ අන් කවරක් වත් නොව කොළඹ ගොල්ෆ් පිටිය යි. දුම්රිය දිවෙන්නේ හරියටම ගොල්ෆ් පිටිය මැදින් ය. ලෝකයේ මෙවන් ස්ථාන විරල ය. ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන්නන් ද තැනින් තැන පෙනේ. ඇත්ත වශයෙන්ම මේ දකින්නේ කොළඹ දැ යි අදහාගත නොහැක.

ගොල්ෆ් පිටිය මැදින්
ගොල්ෆ් පිටිය මැදින්
ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන්නෝ
ඈතින් දිස්වන්නේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය යි
ඈතින් දිස්වන්නේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය යි
ගොල්ෆ් පිටිය ට පසු හමුවන්නේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය යි. බේස්ලයින් පාර සිට ඇරඹි සංඥා කොට්ඨාසය නාරාහේන්පිට දක්වා පවතී. දුම්රියට ටයර් පැටවීම මෙහිදී සුලබ දසුනකි. දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මගෙහි පටු ආමාන මාර්ගයට යෙදූ රේල් පීලි අදටත් දක්නට ලැබේ. ඡායාරූප බලන්න.‍
නාරාහේන්පිට නාම පුවරුව
නාරාහේන්පිට දුම්රිය හරස් මාර්ගය. රේල් පීලි මැදින් ඇති පීලි නිරීක්ෂණය කරන්න.
නාරාහේන්පිට සිට පැමිණෙන විට කිරුලපන ඇල පසු කරත්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය දක්නට ලැබේ. විශ්ව විද්‍යාල සේවකයින් මෙන්ම සිසුන්ද දෛනික ගමනාගමනයට දුම්රිය බහුල ලෙස භාවිතා කරති. විශ්ව විද්‍යාලයට ආසන්නතම දුම්රිය ස්ථානය වන්නේ කිරුලපන උප දුම්රිය ස්ථානය යි‍.
කිරුලපන ඇල මතින් ගමන් කරද්දී
විශ්ව විද්‍යාලයේ නව නේවාසිකාගාර ගොඩනැගිලි
කිරුලපන දුම්රිය ස්ථානය
කිරුලපන දුම්රිය ස්ථානය
මීළඟට හමුවන්නේ නුගේගොඩ දුම්රිය ස්ථානය යි.
නුගේගොඩ
නුගේගොඩ
නුගේගොඩ දී භාණ්ඩ පැටවීම
නුගේගොඩ සිට දුම්රිය මාර්ගය ඇදෙන්නේ A4 කොළඹ - මඩකළපුව ප්‍රධාන මාර්ගයට එනම් හයිලෙවල් පාරට සමාන්තරව ය. නුගේගොඩට පසු පැඟිරිවත්ත සහ උඩහමුල්ල යන උප දුම්රිය ස්ථාන හමු වේ. මෙම ප්‍රදේශ වලට බස් මාර්ගයෙන් පහසුවෙන් ළඟා විය හැකි බැවින් දුම්රිය මගීන් සුලබ නැත. අනතුරුව පසුවන්නේ නාවින්න ආර්පිකෝ සමාගමේ කර්මාන්ත ශාලාව යි. දුම්රිය මාර්ගය වැටී ඇත්තේ එම කර්මාන්ත ශාලා පරිශ්‍රය මැදින් ය. ඉන් පසු නාවින්න උප දුම්රිය ස්ථානය හමු වේ.
ආර්පිකෝ කර්මාන්ත ශාලාව
ආර්පිකෝ කර්මාන්ත ශාලාව
නාවින්න උප දුම්රිය ස්ථානය
නාවින්නට පසු නැවතත් ප්‍රධාන දුම්රිය ස්ථානයක් හමු වේ. ඒ මහරගම යි. දුම්රිය ස්ථානය අසලින්ම දුම්රිය හරස් මාර්ගය වැටී තිබේ‍. ඒ රෙදි පිළි වෙළඳාම ට ප්‍රසිද්ධියක් උසුලන පමුණුව පාර යි. රෙදි පිළි ගැන උනන්දුවක් දක්වන අය මෙතැන හොඳින් හඳුනති.  
මහරගම දී භාණ්ඩ පටවන අයුරු
මහරගම මගී පාලම යට
මහරගම දුම්රිය කාල සටහන (2015-06-17)
මහරගම මගී පාලම
මහරගම දී මාරු වන දුම්රියක්. පාසල් සිසුන් ගමන් කරන දුම්රිය යි.
මහරගම සිට පිළිවෙලින් පන්නිපිටිය සහ කොට්ටාව හමු වෙයි. මේ දෙකම ප්‍රධාන දුම්රිය ස්ථාන වේ. පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලින් ගුවන් පාලමක් ඇත. මෙම ගුවන් පාලම දුම්රිය හරස් මාර්ගය නිසා ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා ඉදිකර තිබේ. එය වැටී ඇත්තේ 174 කොට්ටාව - බොරැල්ල ප්‍රධාන බස් මාර්ගයට යි. දෛනිකව ඒ හරහා ගමන් කරන්නේ අති විශාල වාහන සංඛ්‍යාවකි. මෙහි ඉදිකිරීම් ඇරඹුණු සමයේ කඩිනමින් කටයුතු කෙරුනත් වැඩ අතරමග නැවතී බොහෝ කලක් (වසර 10 කට වැඩි කලක්) අකර්මන්‍ය ව පැවතුණි. වසර 2010 දී වැඩ නිම විය.
පන්නිපිටිය දුම්රිය ස්ථානය
පන්නිපිටිය දුම්රිය ස්ථානය කාර්යබහුල දුම්රිය ස්ථානයකි.
පන්නිපිටිය ගුවන් පාලම
පන්නිපිටිය දුම්රිය හරස් මාර්ගය
කොට්ටාව දුම්රිය ස්ථානය
කොට්ටාව දුම්රිය ස්ථානය
කොට්ටාවේදී භාණ්ඩ හුවමාරුව වන අයුරු
කාර්යබහුලත්වයෙන් මදක් ඈත් වූ මාලපල්ල දුම්රිය ස්ථානය මීළගට පසු වෙයි.
මාලපල්ල දුම්රිය ස්ථානය
මාලපල්ල දුම්රිය ස්ථානය
මාලපල්ල පසු කර මද දුරක් ගිය විට දුම්රිය ඇදෙන්නේ පිටත වට රවුම් අධි වේගී මාර්ගයට යටිනු යි. එහි ගමන් කරන වාහන වලට දැන ගැනීම පිණිස සවි කර ඇති දැවැන්ත නාම පුවරුව ද දුම්රියේ සිට නිරීක්ෂණය කරන්නෙකු ට දැක ගත හැක. පිටත වට රවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හමු වන මාකුඹුර අන්තර් හුවමාරුව ද මනාව දර්ශනය වේ.
පිටත වට රවුම් අධිවේගී මාර්ගය
පිටත වට රවුම් අධිවේගී මාර්ගය
මාලපල්ලට පසු හමුවන්නේ හෝමාගම රෝහල දුම්රිය නැවතුම් පොල යි. එතැන් සිට හෝමාගම රෝහල ට අැත්තේ මීටර 100 කට අාසන්න දුරකි. මෙම දුම්රිය නැවතුම් පොල රෝහල් සේවකයින් හට ගමනාගමන පහසුකම් සලසන බවට සිතිය හැක.
හෝමාගම රෝහල දුම්රිය නැවතුම් පොල
හෝමාගම රෝහලින් පිටත් වූ ගිලන් රථයක් දුම්රිය හරස් මග අසල දී
හෝමාගම දුම්රිය ස්ථානය මීළඟට හමුවේ. එහි වේදිකා 3 කි. ප්‍රධාන මාර්ගය 1 වන වේදිකාවට හමු වන අතර දුම්රියක් මාරු වීම සඳහා 2 වන වේදිකාව භාවිතා කරයි. 3 වන වේදිකාවට අැතුල් විය හැකි වන්නේ අවිස්සාවේල්ල දෙසින් පැමිණෙන දුම්රියකට පමණි. එය අනිත් පසින් කෙළවර වේ.
හොමාගම දුම්රිය ස්ථානයට ළඟා වෙමින්
හෝමාගම දුම්රිය ස්ථානයේ 2 වන සහ 3 වන වේදිකා
හෝමාගම දුම්රිය ස්ථානය ට අවිස්සාවේල්ල දෙසින් දුම්රිය පැමිණෙන්නේ විශාල වංගුවක් පසු කරමිනි. එබැවින් දුම්රිය අාසන්නයට පැමිණෙන තුරු ම දුම්රිය ස්ථානයේ රැඳී සිටින මගීන් හට එය දර්ශනය නොවේ. මෙවන් ස්ථාන වලදී වේදිකාවේ රැඳී සිටින මගීන් දුම්රිය පිළිබඳව අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.
හෝමාගම දුම්රිය ස්ථානයෙන් ඉදිරියට අැති විශාල වංගුව
හෝමාගම දුමිරිය ස්ථානයේ 1 වන වේදිකාව
 සාමාන්‍යයෙන් හෝමාගම දුම්රිය ස්ථානයේදී ද භාණ්ඩ හුවමාරුව සිදු කෙරේ.
හෝමාගම දුමිරිය ස්ථානයේ දී භාණ්ඩ පටවන අතරතුර
හෝමාගම දුම්රිය ස්ථානය අසල වංගුව පසු කරමින්
දුම්රිය මාර්ගය මීළඟ දුම්රිය ස්ථානය වන පනාගොඩ ට අාසන්න වත්ම කොළඹ - අවිස්සාවේල්ල A4 මහා මාර්ගය හරහා ගමන් කරයි. එ් අවිස්සාවේල්ල බස් මාර්ගය කැළණි වැලී දුම්රිය මාර්ගය හරහා ගමන් කරන පළමු ස්ථානය යි. මෙතැන් සිට A4 මහා මාර්ගය දුම්රිය මාර්ගයේ වම් පසින් ගමන් කරයි.
පනාගොඩ දුම්රිය ස්ථානය


පනාගොඩ නම අැසූ පමණින් සිහියට නැගෙන්නේ පනාගොඩ යුද හමුදා කඳවුර යි. දුම්රිය පනාගොඩ දුම්රිය ස්ථානය අසලට පැමිණෙන විට යුද හමුදා කඳවුරු භූමිය දර්ශනය වේ. එතැන් සිට මීළඟ දුම්රිය ස්ථානය වන ගොඩගම දක්වා ම කඳවුරු භූමිය දැකගත හැක. පනාගොඩ යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු රැසක මූළස්ථාන පිහිටි විශාල කඳවුරකි. දුම්රියේ ගමන් කරන විට පෙනෙන දර්ශන වලින් හමුදා කඳවුරක අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ දල අවබෝධයක් ලබා ගත හැක. මනාව සකස් කළ මං මාවත්, භට නිවාස, ක්‍රීඩා පිටි, ගොවිපල, රථ ගාල් අැතුළු හමුදා කඳවුරක මූළිකාංග සියල්ලක් ම පාහේ නෙත ගැටෙ යි. එ් සෑම තැනකම දක්නට අැත්තේ හමුදා විනය යි. පරිසරයට මනා සේ ගැලපෙන හමුදාවට අාවේනික කොළ පැහැය නෙතට සිසිලසක් දනවයි. හමුදා කඳවුර අංග සම්පූර්ණ නගරයක් බඳු ය. සැ.යු. දුම්රිය මාර්ග චාරිකා සටහන් තබන අතර මැද හමුදාව පිළිබඳ සටහනක් තැබීම ද අත්‍යවශ්‍ය බව මම සිතමි. මක් නිසාද යත් මා අද ශ්‍රී ලංකවේ සෑම දුම්රිය ගමනාන්තයකට ම නිරපද්‍රිතව ගමන් කරන්නේ අාරක්ෂක අංශ විසින් දිවි පරදුවට තබා ලත් යුද ජයග්‍රහණය නිසා යි. මීට දශකයකට පමණ පෙර මා හට මෙවැනි චාරිකාවක යෙදීමට අවකාශ නොතිබූයේ ත්‍රස්තවාදී තර්ජන මුළු රටටම එල්ල වී තිබුනු බැවිනි. පනාගොඩ අසලින් ගමන් කරන විට අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයින් සිහිපත් කිරීම ද සුදුසු යැයි සිතමි.
ගොඩගම දුම්රිය ස්ථානය
ගොඩගම දුම්රිය ස්ථානය
ගොඩගම ට පසු හමුවන්නේ මීගොඩ දුම්රිය ස්ථානය යි. දුම්රිය ස්ථානය ට නුදුරුව මීගොඩ විශේෂිත අාර්ථික මධ්‍යස්ථානය දර්ශනය වේ.
මීගොඩ දුම්රිය ස්ථානය
මීගොඩ විශේෂීත අාර්ථික මධ්‍යස්ථානය
මීගොඩ ට පසු බස් මාර්ගය දුම්රිය මාර්ගය අාසන්නය ට පැමිණේ. වටරැක දුම්රිය ස්ථානය ද එ් සමග ම හමු වේ.
වටරැක දුම්රිය ස්ථානය
වටරැක දුම්රිය ස්ථානය
වටරැක ට පසු ලියන්වල හමු වේ. ලියන්වල දුම්රිය ස්ථානය ග්‍රාම්‍ය පරිසරයක පිහිටා අැත. දෙපස දර්ශනය වන්නේ කොළ පැහැති වන රොද යි.
ලියන්වල දුම්රිය ස්ථානයේ නාම පුවරුව
ලියන්වල දුම්රිය ස්ථානය
ලියන්වල සිට ඉදිරියට අැදෙන විට පසුවන්නේ අලංකාර කෙත් යායකි. හාත්පස දිස්වන්නේ නෙත ට සිසිලස ගෙනෙන කොළ පැහැය යි. කෙත් යාය හරහා දිවෙන අැල මාර්ගයක් සහ අමුණකි. ගොඩනැගිලි කිසිවක් පෙනෙන්නට නැත. අැල මාර්ගය ඔස්සේ වම් පසින් බස් මාර්ගය ට වැටී අැති පාලමක් පෙනෙන අතර එය "අානන්ද සමරකෝන් අනුස්මරණ පාලම" යි.
ලියන්වල සහ පාදුක්ක අතර හමුවන අමුණක්
මීළඟට කැළණි වැලී මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන පාදුක්ක හමු වේ. මෙහිදී භාණ්ඩ පැටවීම බහුලව සිදු කෙරෙන බැවින් සැලකිය යුතු වේලාවක් දුම්රිය නතර කර තැබෙ යි. පාදුක්ක දුම්රිය ස්ථානයේ ප්‍රධාන වේදිකා දෙකක් අැති අතර එ් මැදින් අමතර මාර්ගයක් ද අැත.
පාදුක්ක දුම්රිය හරස් මාර්ගය දුම්රිය ස්ථානයට පෙනෙන අයුරු
කොළඹ දෙසින් පැමිණෙන මාර්ගය දෙවන සහ අතිරේක මාර්ග වලට බෙදී යන අයුරු
කැළණි වැලී මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාදුක්ක දුම්රිය ස්ථානය නවීකරණය කර විවෘත කළ බව දැක්වෙන පුවරුව
පාදුක්ක දුම්රිය ස්ථානය
පාදුක්ක දුම්රිය හරස් මාර්ගයේ රේල් පීලි යොදා අැති අාකාරය නිරීක්ෂණය කිරීමේදී පටු අාමාන මාර්ගයේ අවශේෂ ද දැක ගත හැක. එනම් දැනට භාවිතා වන රේල් පීලි දෙකට මැදින් තවත් පීල්ලක් යොදා තිබෙනු දක්නට ලැබේ. එය ඉවත් කිරීමක් සිදු නොවූ බැවින් තවමත් එලෙසම පවතී. අනාගතයේ දිනක මහා මාර්ග අළුත්වැඩියාවක් සිදු වූවොත් එ් අවසාන පටු අාමාන සිහිවටනය ද මැකී යනු අැත.
පාදුක්ක දුම්රිය හරස් මාර්ගයේ ද පටු අාමාන මාර්ගයට යෙදූ රේල් පීලි දක්නට ලැබේ (ඡායාරූපයේ දකුණු පස බලන්න)
පාදුක්ක දුම්රිය ස්ථානයේ 2 වන වේදිකාව සහ මගී පාලම
මෙතෙක් නැගෙනහිර දිශාවට යොමු වී තිබූ දුම්රිය මාර්ගය පාදුක්ක පසු කළ විට  ඊසාන දිශාවට ගමන් කරයි. එතැන් සිට තවත් දුම්රිය නැවතුම් පොල තුනක් කෙටි දුරක් තුළ හමුවේ. එ් පිළිවෙලින් අරුක්වත්ත, අංගම්පිටිය සහ උග්ගල්ල යි. මග දෙපස ගහ කොළින් ගැවසී අැත. 
අරුක්වත්ත දුම්රිය නැවතුම් පොලේ සිහිවටන ඵලකය
වතුසුද්ද මලින් ගැවසුනු අරුක්වත්ත නාම පුවරුව
අරුක්වත්ත දුම්රිය නැවතුම් පොල
අංගම්පිටිය දුම්රිය නැවතුම් පොල
 
අංගම්පිටිය සහ උග්ගල්ල අතර කුඹුරු යායක්
උග්ගල්ල නාම පුවරුව
උග්ගල්ල දුම්රිය නැවතුම් පොල
උග්ගල්ල අාසන්නයේ දී හමුවන කුඹුරු යායක්
උග්ගල්ල අාසන්නයේ දී හමුවන කුඹුරු යායක්
උග්ගල්ල අාසන්නයේ දී හමුවන කුඹුරු යායක්
උග්ගල්ල අාසන්නයේ දී හමුවන කුඹුරු යායක්
උග්ගල්ල සිට කුඹුරු යායක් මැදින් ගමන් ගන්නා දුම්රිය මීළඟට ළඟා වන්නේ පින්නවල දුම්රිය ස්ථානයට යි. මේ ප්‍රදේශය සැබැවින්ම නෙතට සිසිලසක් දනවයි. කොළඹින් ගමන් අරඹා හෝරාවකට මදක් වැඩි කාලයක් ගතවීමෙන් පසු ගැමි පරිසරයක් දැක ගැනීමට කැළණි වැලී දුම්රිය මගියාට වාසනාව අැත. පින්නවල එතරම් පැරණි දුම්රිය ස්ථානයක් නොවේ. එමෙන්ම ප්‍රධාන මහා මාර්ගයක් ද අාසන්නයේ නොමැත. ඒ අසල ජීවත් වන ගම්වැසියන් හට ප්‍රවාහන පහසුකම් සැලසීමට පින්නවල දුම්රිය ස්ථානය සමත්ව අැති බව නම් පැහැදිලි ය.

 පින්නවල දුම්රිය ස්ථානය
පින්නවල දුම්රිය ස්ථානය
පින්නවල දුම්රිය ස්ථානය
පින්නවල ට පසු තවත් දුම්රිය නැවතුම් පොල දෙකක් කෙටි දුරක් තුළ හමු වේ. ඒවා ද අතිශය ග්‍රාම්‍ය පරිසරයක පිහිටා අැත. හාත්පස දිස්වන්නේ කොළ පැහැති වන රොද යි. ප්‍රධාන මාර්ග කිසිවක් අාසන්නයේ නොමැත. මුළින් ම හමුවන්නේ ගම්මාන යි.
ගම්මාන දුම්රිය නැවතුම් පොල නාම පුවරුව
ගම්බද දුම්රිය නැවතුම් පොල වල පවා සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් සිටීම සතුට ට කරුණකි. 
ගම්මාන දුම්රිය නැවතුම් පොල
ගම්මාන සහ මොරකැලේ අතර කුඩා අැළ මාර්ගයක්
ගම්මාන පසුකර මොරකැලේ බලා යමින්
මීළඟ දුම්රිය නැවතුම් පොල මොරකැලේ. සෑම නැවතුම් පොලක ම අැත්තේ එකම අාකාරයේ ගොඩනැගිල්ලකි. එකම කාලයක එකම ව්‍යාපෘතියක් යටතේ ඉදිවුනු බැවින් එසේ වී අැතැයි සිතිය හැක.

ගම්මාන සහ මොරකැලේ අාසන්නයේ  අැත්තේ ග්‍රාම්‍ය පරිසරයකි. දුම්රිය චාරිකාව අතරතුර අප දුටු කදිම දසුනක් ලියා තැබීමට සිත් වේ. දුම්රිය එකවරම වේගය අඩු කරන බවක් අපට දැනුනි. එහෙත් එ් දුම්රිය ස්ථානයක් අසල නොමැති ප්‍රදේශයකි. කවුළුවෙන් ඉවත බැලූ අපට දැක ගත හැකි වූයේ දුම්රිය මාර්ගය අසල පිහිටි නිවසකින් පැමිණි පුද්ගලයෙක් රඹුටන් වල්ලක් රියදුරු මහතාට දෙන අයුරු යි. දුම්රිය නතර කළේ ද නැත. ධාවනය වන දුම්රියෙන් ටැබ්ලට් හුවමාරු කරන ලෙසින් රඹුටන් වල්ලද සුරක්ෂිතව මාරු විය. මෙවැනි දසුන් නෙත ගැටෙන්නේ කැළණි වැලී මාර්ගයේ පමණි.
මොරකැලේ දුම්රිය නැවතුම් පොල
මොරකැලේ සහ වග දුම්රිය ස්ථාන අතර වක් ඔය හරහා අැති පාලම හමුවේ. එය පැරණි පාලමකි. වක් ඔය යනු කැළණි ගඟේ අතු ගංගාවකි. වග ඉතාම සුන්දර ප්‍රදේශය කි. වක් ඔය එහි සුන්දරත්වය වැඩි කරයි. දුම්රිය මාර්ගය දෙපස ද දිස්වන්නේ වන ලැහැබ යි. එය වක් ඔය ගලා බසින බිම් තීරය බැවින් සශ්‍රීකත්වයෙන් අනූන ය. පහතරට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ මැනවින් දැක ගත හැක.
වක් ඔය හරහා වැටී අැති පාලම
සුන්දර පරිසරයක් මැද මීළඟට හමුවන්නේ වග දුම්රිය ස්ථානය යි. මෙහි ස්ථාන නාමය සම්බන්ධව සිහිපත් වන විශේෂ කාරණයක් සඳහන් කරමි. සාමාන්‍යයෙන් දුම්රියක් ධාවනය වීමට පෙර එය නවත්වන ස්ථාන ගමනාන්තය අාදී තොරතුරු මගී ජනතාවගේ දැන ගැනීම පිණිස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් නිවේදනය කෙරේ. බොහෝ විට ඒ සඳහා විශේෂ ශෛලියක් ද අනුගමනය කෙරෙනු ලැබේ. දුම්රිය ධාවනය වන්නේ කුමන දුම්රිය ස්ථානයකට ද යන්න කියැවෙන්නේ "මහනුවර බලා පිටත් වේ", "අවිස්සාවේල්ල බලා පිටත් වේ", "පොල්ගහවෙල බලා පිටත් වේ" යනාදී වශයෙනි. නමුත් "වග බලා පිටත් වේ" යැයි කී විට වෙනත් අර්ථයක් (වගකීමක් බඳු අදහසක්) ජනිත වන බැවින් "වග දුම්රිය ස්ථානය බලා පිටත් වේ" යැයි සම්පූර්ණ කර කියනු ලැබේ. මෙම නිවේදනය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වල සවස පහ ත් හය ත් අතර නිකුත් වනු අයුරු සවන් දිය හැක.
වග දුම්රිය ස්ථානය
වග දුම්රය ස්ථානයේ වේදිකා අැත්තේ එකක් පමණි. නමුත් අමතර මාර්ගයක් අැති බැවින් දුම්රිය දෙකක් මාරු කිරීමට පහසුකම් අැත‍. වග දුම්රිය ස්ථානය අසලින් කළුඅග්ගල - ලබුගම මාර්ගය දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි.
 වග දුම්රිය ස්ථානයේ පැරණි බඩු ගබඩාව
වග දුම්රිය ස්ථානයෙන් පසු විශාල වංගු කිහිපයක් සහිත ප්‍රදේශයකට යොමු වේ. ඡායාරූප වලින් දැක්වෙන්නේ එම වංගුව වලින් එකකි. මාර්ගයේ වම් පසින් එක එල්ලේ දිස්වන්නේ වෙල් යාය යි. එබැවින් වංගුව ගන්නා විට මුළු දුම්රිය ම එක වර හොඳින් දර්ශනය වේ. මේ තරම් විශාල වංගු පැවතීමට හේතුව ඒවා පටු අාමාන මාර්ගයට සැකසූ නිසා විය යුතු ය. පටු අාමාන මාර්ගයට අවශ්‍ය වන්නේ අඩු අරයක් සහිත වංගු ය. වග ප්‍රදේශයෙන් ඔබ්බට මනස්කාන්ත දසුන් පෙලක් සමග දුම්රිය මීළඟට ළඟා වන්නේ කඩුගොඩ දුම්රිය නැවතුම් පොලට යි. කඩුගොඩ අාසන්නයෙන්ම අරපන්ගම හමුවේ. මේ නැවතුම් පොල දෙකම ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන පහසුව සඳහා ඉදි කර අැත. කලින් සඳහන් කළ පරිදි කඩුගොඩ හා අරපන්ගම ද එකම සැලැස්මකට ඉදිවී අැත.
වග සහ කඩුගොඩ අතර හමුවන විශාල වංගුව

වග සහ කඩුගොඩ අතර හමුවන විශාල වංගුව
වංගු සහිත ස්ථාන වල අැති දුම්රිය හරස් මාර්ග ඉතා අනතුරුදායක ය. විශේෂයෙන් අාරක්ෂිත ගේට්ටු නොමැති තැන් වල වාහන දුම්රිය මාර්ගය හරහා යෑමේදී අවදානම අධික වේ. එවැනි ස්ථාන වල මාර්ගය දෙපස හොඳින් දර්ශනය වීමට තරමක් විශාල උත්තල දර්පණ යොදා අැත. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එවන් උත්තල දර්පණයකි. දුම්රිය රියදුරුට ද මාර්ගය අසලට එන වාහන දැක ගත හැක. ඡායාරූපයේ එවන් දසුනක් මනාව පිළිබිඹු වේ. එහි දැක්වෙන රථයට සාමාන්‍යයෙන් දර්පණය නොමැතිව දුම්රිය පැමිණෙන බව පෙනෙන්නේ අාසන්නයට ම ළඟා වූ පසු ය. බලවේග දුම්රිය වල එන්ජිම රහිත එලැවුම් මැදිරියෙන් ධාවනය කරන විට එන්ජිමේ හඬ ද අැසෙන්නේ සෑහෙන තරම් ළං වූ පසු ය.දර්පණය නිසා වැඩි දුරක සිට දුම්රිය දර්ශනය වේ. මෙය දැනට දුම්රිය හරස් මාර්ග වල අනතුරු අවම කිරීමට ගෙන අැති සාර්ථක වැඩ පිළිවෙලකි.

වංගු සහිත ස්ථානයක දුම්රිය හරස් මාර්ගයකට යෙදූ උත්තල දර්පණයක්

කඩුගොඩ දුම්රිය නැවතුම් පොල නාම පුවරුව
කඩුගොඩ දුම්රිය නැවතුම් පොල
අරපන්ගම දුම්රිය නැවතුම් පොල නාම පුවරුව
අරපන්ගම දුම්රිය නැවතුම් පොල
මීළඟට හමුවන්නේ කොස්ගම දුම්රිය ස්ථානය යි. එහි වේදිකා දෙකක් අැත. තරමක් විශාල දුම්රිය ස්ථානයක් වන කොස්ගම වැදගත් වන්නේ මෙතෙක් දුම්රිය මාර්ගයෙන් අෑත්ව ගිය කොළඹ - අවිස්සාවේල්ල A4 මාර්ගය යළිත් දුම්රිය මාර්ගය අසලට පැමිණීම යි. මෙතැන් සිට තවත් සැලකිය යුතු දුරක් දුම්රිය මාර්ගයට වම් පසින් සමාන්තරව එය ගමන් කරයි.
කොස්ගම දුම්රිය ස්ථානය

කොස්ගම දුම්රිය ස්ථානයේ නාම පුවරුව
කොස්ගම දුම්රිය ස්ථානය
කොස්ගම දී දුම්රිය මාර්ග නඩත්තු සේවයේ යෙදෙන සේවක මහතුන් කිහිප දෙනෙක් සිය උපකරණ ද රැගෙන සූදානමින් සිටි බව දක්නට ලැබුණි. ඒ අතර තිබූ එක් සුවිශේෂී උපකරණයක් ඡායාරූපගත කළෙමි. එය රේල් පීලි නැවීමට ගන්නා උපකරණයක් බව වටහා ගත හැකි විය.
රේල් පීලි නැවීමට යොදා ගන්නා උපකරණයක් - කොස්ගම දී

කොස්ගම දී හමු වූ ම්තුරන් දෙදෙනෙක්
මීළඟට හමුවන්නේ අළුත් අම්බලම නැවතුම් පොල යි. ඒ අසලින්ම දකුණු පසින් පෙනෙන්නේ කොස්ගම මහා විද්‍යාලය යි. වම් පසින් අවිස්සාවේල්ල A4 මාර්ගය යි‍. නැවතුම් පොල පාසල අසලම පිහිටා තිබුණත් පාසල් සිසුන් දුම්රියෙන් ගමන් කරන බවක් අනුමාන කළ නොහැක. මන් ද යත් උදෑසන හෝ පාසල් නිම වන වේලාවට අළුත් අම්බලමට දුම්රියක් ධාවනය නොවේ. කෙසේ වෙතත් කොස්ගම මහා විද්‍යාලය පිහිටා අැති අයුරු මෙම දුම්රිය නැවතුම් පොලට මනා ව දර්ශනය වේ.

මෙතැන් සිට ඉදිරියට අැදෙන මාර්ගය තියුණු වංගු කිහිපයක් පසු කරන්නේ මහා මාර්ගයට සමාන්තරව ය. දුම්රිය මාර්ගය මහා මාර්ගයට මදක් උසින් පිහිටා අැත. එසේ නොවන්නට මේ දර්ශනය ඉන්දියාවේ සුප්‍රකට ඩාර්ජීලින් - හිමාලයන් දුම්රිය මාර්ගය සිහිගන්වයි. හින්දි සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් "අාරාධනා" චිත්‍රපටයේ දුම්රිය සහ සමාන්තරව ගමන් කරන රථයක රූගත කළ ගීත ජවනිකාවක ද සිහිපත් වේ.

අළුත් අම්බලම දුම්රිය නැවතුම් පොල

කොස්ගම මහා විද්‍යාලයේ සිසුන් - අළුත් අම්බලම නැවතුම් පොල සිට
තියුණු වංගුවක් පසුකරමින්
මීළඟට මිරිස්වත්ත දුම්රිය නැවතුම් පොල හමුවේ. අළුත් අම්බලම මෙන්ම කුඩා නැවතුම් පොලක් වන මෙහි වේදිකාව හැරෙන්නට වෙනත් ඉදිකිරීමක් දක්නට නොමැත.
මිරිස්වත්ත දුම්රිය නැවතුම් පොල
මිරිස්වත්ත පසු කර ඉදිරියට අැදෙන විට A4 මාර්ගය දුම්රිය මාර්ගයේ දකුණු පසට මාරු වේ. මේ A4 මාර්ගයට යෙදෙන දෙවන හරස් මාර්ගය යි. එතැන් සිට මද දුරකින් හිඟුරල දුම්රිය නැවතුම් පොල දක්නට ලැබේ. මෙයද කුඩා වේදිකාවකට පමණක් සීමා වූ නැවතුම් පොලකි.
හිඟුරල දුම්රිය නැවතුම් පොල සහ A4 අවිස්සාවේල්ල මාර්ගය
හිඟුරල දුම්රිය නැවතුම් පොල
හිඟුරල දුම්රිය නැවතුම් පොල
හිඟුරල ට පසු යළිත් මාරු වන A4 මාර්ගය දුම්රිය මාර්ගයේ වම් පසට පැමිණේ. මේ A4 මාර්ගයේ තුන්වන දුම්රිය හරස් මාර්ගය යි.
හිඟුරල ට පසු යළිත් මාරු වන A4 මාර්ගය
තවත් මද දුරකින් A4 මාර්ගයේ සිව් වන දුම්රිය හරස් මාර්ගය ද හමු වන්නේ පුවක්පිටිය දුම්රිය ස්ථානය පෙනෙන මානයේ දී ය. යළිත් එය දකුණු පසට මාරු වෙයි. පුවක්පිටිය දුම්රිය ස්ථානයේ පිහිටීම තරමක් වෙනස් ය. සැබැවින්ම මෙතැන දුම්රිය හරස් මාර්ගය පිහිටා අැත්තේ කතිරයක ස්වරූපයෙනි. හරස් මාර්ගයට පෙරත් පසුත් මාර්ග දෙකම සමාන්තරව අැදෙයි. දුම්රිය ස්ථානය අැත්තේ කතිරයට අාසන්නව වම් පසින් ය. මහා මාර්ගයේ සිට පැමිණෙන්නෙකුටත් දුමරියෙන් පැමිණෙන්නෙකුටත් එකවර දර්ශනය වන්නේ මාර්ගය කෙළවර වන සේ ය.
පුවක්පිටිය දුම්රිය ස්ථානය අෑතින් පෙනෙන අයුරු
පුවක්පිටිය දුම්රිය ස්ථානය සහ දුම්රිය හරස් මාර්ගය
පුවක්පිටිය දුම්රිය ස්ථානයේ නාම පුවරුව
පුවක්පිටියට පසු අවිස්සාවේල්ල දක්වාම තියුණු වංගු රැසක් පසු කරයි.
තියුණු වංගුවක් පසු කරමින්
මීළඟට තවත් දුම්රිය නැවතුම් පොලක් හමු වන අතර එය පුවක්පිටිය නගරය යි. වේදිකාවක් සහ නාම පුවරුවකට වැඩි යමක් එහි දැකගත නොහැක.

පුවක්පිටිය නගරය දුම්රිය නැවතුම් පොල
පුවක්පිටිය නගරය නැවතුම් පොලට පසු යළිත් දුම්රිය හරස් මාර්ගයක් හමු වේ. ඒ පස් වැනි සහ අවසන් වරට A4 මාර්ගය හරහා යෑම යි. දැන් යළිත් A4 මාර්ගය වම් පසිනි. අවිස්සාවේල්ලට යන තුරු මෙලෙසින්ම ගමන් කරයි.

පුවක්පිටිය නගරය පසු කළ විට නැවතත් A4 මාර්ගය හරහා ගමන් කරයි
අවිස්සාවේල්ලට පෙර හමු වන අවසාන නැවතුම් පොල කිරිවන්දල යි. මහා මාර්ගයට තරමක් අෑතින් පිහිටි කිරිවන්දල ද වේදිකාවක් පමණක් අැති කුඩා නැවතුම් පොලකි. මෙතැන් සිට අවිස්සාවේල්ල දක්වා යළිත් තියුණු වංගු කිහිපයක් පසු කරයි.
කිරිවන්දල දුම්රිය නැවතුම් පොල
අවිස්සාවේල්ලට නුදුරුව ද්විත්ව වංගුවක්
කොළඹින් පටන් ගෙන හෝරා දෙක හමාරක පමණ ගමනකින් පසු අවිස්සාවේල්ලට ළඟා වේ. අප පිවිසෙන්නේ ඓතිහාසික සීතාවක පුරවරයට යි.
දුම්රිය ගමනාන්තයට පැමිණි වගයි.
දුම්රිය ස්ථානයෙන් මීටර 400ක් පමණ දුරකින් අවිස්සාවේල්ල නගරය පිහිටයි. බස් නැවතුම් පොල නගරයට පිවිසෙන විටම හමු වේ. අවිස්සාවේල්ල මූළික රෝහල දුම්රිය ස්ථානයෙන් මීටර 200 ක තරම් දුරක පිහිටා අැත.

අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නාම පුවරුව

අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය තරමක් විශාලය. දිනපතා සේවයට යන මගී ජනතාවගෙන් උදෑසන කාර්යබහුල වූවත් දිවා කාලයේ සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් මෙහි නොරැඳේ. දහවල් කාලයේ කොළඹ කොටුව බලා ධාවනය වන්නේ එක් දුම්රියක් පමණි. බොහෝ විට අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව ගමනාගමනය සඳහා යොදාගන්නේ බස් මාර්ගය යි. එබැවින් දුම්රිය ට ලැබී ඇත්තේ දෙවන තැන යි. අතීතයේ කැළණි වැලී මාර්ගය යටියන්තොට දක්වා ත් රත්නපුර මාර්ගය ඕපනායක දක්වාත් විහිදුනු සමයේ මීට වඩා වැඩි මගී පිරිසක් මෙහි රැඳෙන්නට අැතැ යි සිතිය හැක. පර්යන්ත දුම්රිය ස්ථානයක ස්වභාවය අවබෝධ කර ගැනීමට අවිස්සාවේල්ල කදිම ස්ථානය කි. එයට හේතුව දුමරිය මාර්ගය අවසන් වන ස්ථානය (Dead end) දුම්රිය ස්ථානයට අාසන්නවම පැවතීම යි‍. අැතැම් ගමනාන්ත දුම්රිය ස්ථාන වල මාර්ගයේ අවසානය තරමක් දුරින් පිහිට යි. අවිස්සාවේල්ලේ දී එය එක එල්ලේ ම දර්ශනය වේ.
කැළණි වැලී දුම්රිය මාර්ගයේ අවසානය
කැළණි වැලී දුම්රිය මාර්ගයේ අවසානය. යටියන්තොට හෝ රත්නපුරයට යාමට අද අවකාශ අැත.
අවිස්සාවේල්ලට ළඟා වූ දුම්රිය නැවත කොළඹ බලා ධාවනය වීමට පෙර
පර්යන්ත දුම්රිය ස්ථානයක් ලෙස අද සැලකෙන අවිස්සාවේල්ල අතීතයේ දුම්රිය මංසන්ධියකි. කැළණි වැලී මාර්ගය මරදාන සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා විහිදී තිබුණි. සැබැවින්ම කැළණි වැලී මාර්ගය කැළණි ගංගාවට අාසන්න ව ගමන් කළේ අවිස්සාවේල්ලෙන් පසු යටියන්තොට දක්වා වූ කොටසේදී ය. පසු කලෙක අවිස්සාවේල්ලෙන් අාරම්භව රත්නපුරය හරහා ඕපනායක දක්වා දුම්රිය මාර්ගයක් ඉදි විය. ඒ අනුව ගත් කල අවිස්සාවේල්ල යනු රත්නපුර දුම්රිය මාර්ගයේ අාරම්භය යි. විවිධ හේතු නිසා අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය වසා දමා තිබේ. ඉන් අනතුරුවත් රත්නපුර මාර්ගය දිගටම භාවිතා විය. එකල මරදාන සිට ඕපනායක දක්වා එකම දුම්රිය මාර්ගයක් ලෙස පැවතුන බැවින් බොහෝ දෙනා වටහාගෙන තිබුනේ කැළණි වැලී මාර්ගය යනු රත්නපුර මාර්ගය ලෙස යි. නමුත් මුලින් ඉදිවූයේ යටියන්තොට මාර්ගය බැවින් නියම කැළණි වැලී මාර්ගය යනු මරදාන සිට යටියන්තොට දක්වා විහිදුනු මාර්ගය බව ප්‍රකාශ කිරීම යුක්ති සහගත යැයි සිතමි. මේ සඳහා ඓතිහාසික සාධකයක් ලෙස හෙන්රි ඩබ්ලිව්. කේව් (Henry W. Cave) නම් බ්‍රිතාන්‍ය ජාතික කතුවරයාගේ "ද සිලෝන් ගවර්න්මන්ට් රේල්වේ" (The Ceylon Government Railway) නම් ගවේෂණාත්මක කෘතිය පෙන්වා දිය හැක. එහි ප්‍රථම මුද්‍රණය 1910 ජූලි මස නිකුත් වී අැත. එම ග්‍රන්ථයේ 30 වන පිටුවේ සඳහන් වන පරිදි අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා මාර්ගය ඒ වකවානුවේ ඉදිවෙමින් පැවතී අැත. කැළණි වැලී මාර්ගයේ අවසානය ලෙස දක්වා අැත්තේ යටියන්තොට යි.

මාගේ චාරිකා මීට දශක හතරකට හෝ පහකට පෙර අැරඹුනේ වී නම් අවිස්සාවේල්ල යනු ගමන් මගෙහි එක් සන්ධිස්ථානයක් පමණක් වනු අැත. එනම් මා තවත් බොහෝ දුරක් ගොස් මේ ලිපිය ලියන්නේ යටියන්තොට හෝ ඕපනායක ගැන වන්නට තිබුණි.
අතීතයේ තවත් බොහෝ දුරක් ඉදිරියට අැදුනු කැළණි වැලී මාර්ගය අද අව්ස්සාවේල්ලෙන් කෙළවර වන අයුරු
අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට මාර්ගය පෙනෙන අයුරු
අවිස්සාවේල්ල දෙවන වේදිකාව
අවිස්සාවේල්ල පළමුවන වේදිකා මාර්ගය කෙළවර වන අයුරු
අවිස්සාවේල්ල මගී පාලම අසල නාම පුවරුව
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ වේදිකා දෙකකි. පළමුවන වේදිකාවට දුම්රිය පැමිණෙන අතර පිටත් වන්නේත් එහි සිට යි. දුම්රිය දෙකක් පැමිණි අවස්ථාවක දෙවන වේදිකාව ද ප්‍රයෝජනයට ගැනේ. වේදිකා අතර මාරු වීමට මගී පාලමක් අැත. වේදිකා දෙක අතර මැද තවත් මාර්ගයක් අැත. එය යොදා ගැනෙන්නේ දුම්රිය ගාල් කිරීමට යි. දැනට කැළණි වැලී මාර්ගයේ ධාවනය වන්නේ මගී ප්‍රවාහන බලවේග (Power set) දුම්රිය පමණි. එබැවින් දුම්රිය පැමිණි අයුරින්ම අාපසු ධාවනය කිරීමට හැකි ය. නමුත් එන්ජින් යෙදූ දුම්රියක් ගමනාන්තයට පැමිණි විට එහි එන්ජිම ගලවා දුම්රියේ අනෙක් කෙළවරට අෑඳිය යුතු ය. එම කටයුත්ත සඳහා ද මුළින් සඳහන් කළ මාර්ගය යොදා ගැනේ. සාමාන්‍යයෙන් දුම්රිය මාර්ග කෙළවර වන දුම්රිය ස්ථානයක එන්ජින් හැරවීම සඳහා හැරවුම් වේදිකාවක් (Turn table) අැතත් අවිස්සාවේල්ලේ දී එවැන්නක් දැක ගත නොහැක. මුළුමනින්ම බලවේග දුම්රිය ධාවනය වීමත් කලාතුරකින් පැමිණෙන එන්ජිමක් වූව ද හැරවීමකින් තොරව නැවත ධාවනය කරවීමට හැකි වීමත් නිසා හැරවුම් වේදිකාවක අවශ්‍යතවය අවිස්සාවේල්ලට නැතැයි අනුමාන කළ හැක
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව
කැළණි වැලී මාර්ගයේ සාර්ථක ම දුම්රිය S8 බලවේග දුම්රිය යි.
දුම්රිය රියදුරු විසින් වායු ටැංකියේ පීඩනය පරීක්ෂා කෙරෙමින්
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ හස්ත ක්‍රියාකාරී රේල් පාර මාරු කරනය (Tracks change)
කැළණි වැලී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අාවරණය කිරීමට එක් දින චාරිකාවක් ප්‍රමාණවත් වේ. එහි යෑමට බලාපොරොත්තු වන අයෙක් උදෑසන කොළඹ කොටුවෙන් හෝ මරදානෙන් ගමන් අාරම්භ කළොත් සවස 3:30 පමණ වන විට නැවත කොළඹ කොටුව වෙත ළඟා විය හැක. මගී තදබදය අවම බැවින් චාරිකාවක අත්දැකීම් නියමාකාරයෙන් අත්විඳීමට අවකාශ අැත. සාමාන්‍යයෙන් චාරිකා සඳහා භාවිතා නොවන මාර්ගයක් වූව ද කැළණි වැලී මාර්ගයේ අැති ස්වභාව සෞන්දර්යය ඉතා ඉහළ ය. ලංකාවේ සුන්දර තැන් සොයන අයට කොළඹින් වැඩි දුර නොයා එක් දින චාරිකාවක් ලෙස කැළණි වැලී මාර්ගයේ ගමන් කළ හැක. බේස්ලයින්, නාරාහේන්පිට වැනි කලබලකාරී පරිසරයකින් අාරම්භ වී කෙත් වතු හා වන ලැහැබ් පසු කර පැමිණි කැළණි වැලි දුම්රිය චාරිකාව මෙයින් අවසන් වේ.
ප.ලි. දුම්රිය ගමනට සහභාගි වූ මගේ මිත්‍ර බුද්ධික ද සිල්වා මහතාට ත් ලලිත් සමලිඅාරච්චි මහතාට ත් විශේෂ ස්තූතිය පිරිනැමේ. ගමන අතරතුර සිදුවූ තවත් රසවත් සිදුවීමක් දක්වනු කැමැත්තෙමි. මගේ මිත්‍රයා හැම විටම දුම්රියට ගොඩවන වයස්ගත අයට නැගීමට අත දී උපකාර කරයි. එසේ උදව් ලැබූ වයස්ගත අම්මා කෙනෙක් ප්‍රතිඋපකාර ලෙස අැය ගෙන අා රඹුටන් පාර්සලයෙන් ගෙඩි කිහිපයක් ඔහුට පරිත්‍යාග කළාය. අතිශයින් ග්‍රාම්‍ය වූ පරිසරයක් මැදින් යන කැළණි වැලී මාර්ගයේ මගීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව ප්‍රකට කරන සිදුවීමක් ලෙස මෙම සිද්ධිය ඉදිරිපත් කළ හැකි බව මට හැඟුනි.


Creative Commons License
කැළණි වැලී මාර්ගය - චාරිකා සටහන් by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.

No comments:

Post a Comment