Tuesday, June 23, 2015

බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ට M6 එන්ජිම අෑඳන අයුරු

මෙම වීඩියෝව මවිසින් පටිගත කරනු ලැබුවේ 2015-05-24 දින සවස බදුල්ලෙන් පිටත් වන රාත්‍රී තැපැල් දුම්රියට එන්ජිම සවි කරන අවස්ථාවේදී ය. වීඩියෝවේ ඔබ දකින්නේ දුම්රියේ ඉදිරිපස එන්ජිමයි. බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ලත් පට්ටිපොලත් අතර ගමන් කරන්නේ පසුපස එන්ජිමක ද ආධාර ඇතිව ය. පට්ටිපොලදී පසුපස එන්ජිම ද ඉදිරියට ගෙනැවිත් ඉදිරිපස ද්විත්ව එන්ජින් සහිතව නාවලපිටිය දක්වා ධාවනය වේ. මේ ක්‍රියාවලිය හා බැඳුනු තාක්ෂණික තොරතුරුත් ඡායාරූප හා විසිතරත් ඉදිරි ලිපි තුළින් බලාපොරොත්තු වන්න.
එන්ජිම පැමිණ අෑඳුමේ වදිනවා ත් සමග ම ස්වයංක්‍රීයව අෑඳුම සවිවේ. එයට ස්වයංක්‍රීය අෑඳුම යැයි කියනුයේ එබැවිනි. අෑඳීමෙන් පසු එන්ජිම මදක් ඉදිරියට ධාවනය කරනු ලැබේ. එවිට අෑඳුම සවිවී එය තහවුරු වේ. එසේ සවිවීමෙන් අනතුරුව අගුල් දැමීමක් අතින් සිදුකළ යුතු වේ. වීඩියෝවේ එම අවස්ථාව පැහැදිලිව දැක ගත හැක.  අගුල් දැමූ පසු අෑඳුම ගැලවීමට නම් අගුල ඉවත් කළ යුතු ය. මෙහි අැති විශ්වසනීයත්වය නිසාම උඩරට මාර්ගයේ ධාවනය වන සෑම දුම්රියකටම ස්වයංක්‍රීය අෑඳුම අනිවාර්ය කර අැත


Creative Commons License
බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ට M6 එන්ජිම අෑඳන අයුරු by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.
Based on a work at https://youtu.be/LVCLo6e7mB8.

Monday, June 22, 2015

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සහ මංසන්ධි

ඔබ දැනටමත් ශ්‍රී ලංකාවේ දුම්රිය මංසන්ධි පිළිබඳව අසා අැති. නමුත් දුම්රිය මංසන්ධියක් යනු කුමක්ද?

දුම්රිය මංසන්ධියක් යනු එක් දුම්රිය මාර්ගයක පැමිණෙන දුම්රියක් තවත් දුම්රිය මාර්ගයක ට මාරු වී ගමන් කළ හැකි ස්ථානයකි. මින් අදහස් කරනුයේ මංසන්ධි දුම්රිය ස්ථානයක් වෙත දුම්රිය මාර්ග දෙකක් හෝ වැඩි ගණනක් ළඟා වන බවයි. නමුත් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ දක්නට ලැබෙනුයේ මාර්ග දෙකක් මුණ ගැසෙන මංසන්ධි පමණි.

මුළින්ම අප ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග මොනවාදැයි හඳුනා ගනිමු.

වර්තමානයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ. නමුත් අාරම්භක අවධියේ, එනම් පළමු දුම්රිය ගමන සිදුවූ 1864 වසරේ සිට 20 වන සියවසේ මුල් දශකය දක්වා ප්‍රධාන මාර්ගයේ පළමු දුම්රිය ස්ථානය වූයේ කොළඹ පර්යන්ත දුම්රිය පොළ යි. (Colombo_Terminus_railway_station).

කලක් මෙම පර්යන්ත දුම්රිය පොළ ගොඩනැගිල්ල ශ්‍රී ලංකා දුම්රිය ක‍ෞතුකාගාරය ලෙස භාවිතා කළ අතර දැනට කඩුගන්නාව දුම්රිය ස්ථානයට යාබද ව ශ්‍රී ලංකා දුම්රිය ක‍ෞතුකාගාරය විවෘත කර අැත.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග

(පිළිවෙලින් මාර්ග අංකය - භාවිතා වන නම - අාරම්භය - කෙළවර දැක්වේ.)

  1. ප්‍රධාන මාර්ගය - කොළඹ කොටුව - බදුල්ල
  2. මාතලේ මාර්ගය - පේරාදෙණිය සන්ධිය - මාතලේ
  3. පුත්තලම මාර්ගය - රාගම - නූර් නගර්
  4. උතුරු මාර්ගය - පොල්ගහවෙල - කන්කසන්තුරය
  5. මන්නාරම මාර්ගය - මැදවච්චිය - තලෙෙමන්නාරම් තොට
  6. මඩකළපු මාර්ගය - මහව සන්ධිය - මඩකළපුව
  7. ත්‍රිකුණාමලය මාර්ගය - ගල්ඔය සන්ධිය - ත්‍රිකුණාමලය
  8. මුහුදුබඩ මාර්ගය - කොළඹ කොටුව - මාතර
  9. කැළණි වැලී මාර්ගය - මරදාන - අවිස්සාවේල්ල
  10. මිහින්තලේ මාර්ගය - මිහින්තලේ සන්ධිය - මිහින්තලේ
 (මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය වන්නේ පොසොන් වන්දනා සමය තුළ පමණි.)
    අතහැර දැමූ දුම්රිය මාර්ග
    • රත්නපුර මාර්ගය - අවිස්සාවේල්ල - ඕපනායක 
    • උඩුපුස්සැල්ලාව  මාර්ගය - නානුඔය - රාගල
    • කැළණි වැලී මාර්ගය - අවිස්සාවේල්ල - යටියන්තොට
     දැනට මගී ප්‍රවාහනය සඳහා භාවිතා නොවූව ද තවත් දුම්රිය මාර්ග දෙකක් ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව පවතී.
    • කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය - ඔරුගොඩවත්ත බටහිර සන්ධිය - කොළොන්නාව 
    • මුත්වාල් (වරාය) මාර්ගය -  ඔරුගොඩවත්ත නැගෙනහිර සන්ධිය - ග්‍රෑන්ඩ්පාස්, පිටකොටුව
    කොළොන්නාවේ පිහිටි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ සිට දුම්රිය සේවය සඳහා තෙල් ප්‍රවාහනය කෙරෙනුයේ ඔරුගොඩවත්ත  - කොළොන්නාව දුම්රිය මාර්ගය ඔස්සේ ය. ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන විට දෙමටගොඩ ආසන්නයේ දී ඔරුගොඩවත්ත මංසන්ධි දෙකත් එහි සංඥා කුටියත් දැක ගත හැක. මුත්වාල් මාර්ගයේ දුම්රිය ධාවනය වන බවක් මෑත කාලයේ දී වාර්තා නොවේ.

    සේවා අවශ්‍යතා සඳහා විශේෂයෙන් යෙදූ මාර්ග දෙකක් ද අැත. එනම්,
    • ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස සිට කළුගල් නිධියක් වෙත දිවෙන මාර්ගය.
    • පුත්තලම මාර්ගයේ පාලාවි සිට හොල්සිම් සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත දිවෙන මාර්ගය.
    දුම්රිය මාර්ග සඳහා කළුගල් අවශ්‍ය වූ විට පමණක් අදාල ස්ථානයෙන් දුම්රිය මගින් ප්‍රවාහනය කෙරෙන බැවින් නිරන්තර දුම්රිය ධාවනයක් එහි දක්නට නොලැබේ. සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත දිවෙන මාර්ගය ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් නඩත්තු වන්නක් නොවේ. එය අදාල සමාගම විසින් කරනු ලැබේ.

    මංසන්ධියකින් ආරම්භ නොවන තවත් දුම්රිය මාර්ගයක් ඇත.
    • කටුණායක ගුවන් තොටුපල - පුත්තලම මාර්ගයේ කටුණායක ආයෝජන ප්‍රවර්ධන කළාපය දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වේ.
    මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ ගුවන් තොටුපල දුම්රිය ස්ථානය ද පුත්තලම මාර්ගයටම අයත් වීමයි. ඒ අනුව එතැන එකම මාර්ගයක කුඩා විහිදුමක් පමණක් දක්නට ලැබෙන අතර මාර්ග දෙකක් හමු නොවේ. එනම් කටුණායක දුම්රිය මංසන්ධියක් නොවෙයි.

    එ් අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන දුම්රිය මාර්ග දහයක් සහ දුම්රිය මංසන්ධි නවයක් ක්‍රියාකාරීත්වයේ පවතී. නානු ඔය සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අදටත් භාවිතා වූව ද තව දුරටත් ඒවා මංසන්ධි ලෙස ක්‍රියාත්මක නොවෙයි.

     ශ්‍රී ලංකාවේ දුම්රිය මංසන්ධි
    1. පේරාදෙණිය සන්ධිය
    2. රාගම
    3. පොල්ගහවෙල
    4. මැදවච්චිය
    5. මහව සන්ධිය
    6. ගල්ඔය සන්ධිය
    7. කොළඹ කොටුව
    8. මරදාන
    9. මිහිනතලේ සන්ධිය
    • අවිස්සාවේල්ල (ක්‍රියාත්මක නොවේ)
    • නානු ඔය (ක්‍රියාත්මක නොවේ)
      ශ්‍රී ලංකාවේ පර්යන්ත දුම්රිය ස්ථාන
    1. බදුල්ල
    2. මාතලේ
    3. නූර් නගර්
    4. කන්කසන්තුරය
    5. තලෛ මන්නාරම් තොට
    6. මඩකළපුව
    7. ත්‍රිකුණාමලය
    8. මාතර
    9. අවිස්සාවේල්ල
    10. මිහින්තලේ

    සියලුම මාර්ග පුළුල් අාමාන (Broad gauge) (අඩි 5 අඟල් 6) වේ. අතහැර දමූ රත්නපුර සහ උඩුපුස්සැල්ලාව මාර්ග ත් පැරණි කැළණි වැලී මාර්ගය මුළුමනින්ම ත් පටු අාමාන (Narrow gauge) (අඩි 2 අඟල් 6) ගනයට අයත් විය. කලකට ඉහත පුංචි කෝච්චිය නමින් හැඳින්වූයේ මෙම පටු අාමාන මාර්ගයේ ගමන් ගත් දුම්රිය යි. එ් පිළිබඳ වැඩිදුර තොරතුරු "කැළණි වැලී මාර්ගයේ චාරිකා සටහන්" ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

      Creative Commons License
      ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සහ මංසන්ධි by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.

      Sunday, June 21, 2015

      චාරිකා සටහන් - දායකවූවෝ

       ෴දුම්රිය ගමනට මා හුරු කළ මාගේ අාදරණීය පියා වෙත මෙම වෙබ් අඩවිය පුද කිරීමට කැමැත්තෙමි.෴

      ප්‍රවේශ පත්‍රය මිලට ගත් තැන් සිට වේදිකාවේ රැඳී සිටිය යුතු අයුරුත් දුම්රිය ට ගොඩ වීම හා එහි ගමන් කළ යුතු අයුරුත් නිවැරදිව ගමනාන්තයේ දී බැස යා යුතු අයුරුත් කියා දුන්නේ මාගේ අාදරණීය පියාණන් ය. දුම්රිය ගමන් වලදී එෙතිහාසික මෙන්ම තාක්ෂණික තොරතුරු ගැන ද අවධානය යොමු කළ යුතු බව මට කියා දුන්නේ ඔහු යි.

      දුම්රිය සමග මා සම්බන්ධ වන්නේ බහ තෝරන වියටත් පෙර සිට ය. දුම්රිය දෙස බලා සිටීමට මට අාශාවක් අැති වන්නේ යන්තම් අවුරුදු දෙකක් පිරීමටත් මත්තෙනි. මාගේ පියා එකල මාගේ විනෝදය පිණිස මා කැඳවාගෙන යන්නේ ගම්පහ දුම්රිය ස්ථානය සහ අවට සිට දුම්රිය දෙස බලා සිටීමට යි. එවකට එනම් 1980 දශකයේ අග භාගයේ ගම්පහ සිට වේයන්ගොඩට පෙ.ව. 9.37 ට මන්දගාමී දුම්රියක් ධාවනය විය. පියාත් මමත් එකල එම දුම්රියේ නැගී වේයන්ගොඩට ගමන් ගෙන එම දුම්රිය ම අාපසු එන ගමනේ දී ගම්පහට අාවෙමු. අප මෙම චාරිකාවේ නිරන්තරයෙන් යෙදුනු බැවින් දුම්රිය සංචාරය මා හට අාගන්තුක නොවීය. දේශීය ව නිපදවූ දැවමය බඳ සහිත S6 සහ S7 බලවේග කට්ටල් (Power set) ධාවනය කළ 9.37 දුම්රිය S8 බලවේග කට්ටල් වලට මාරු වූ වකවානුව ද මගේ මතකයේ රැඳී අැත.

      මා කොළඹ අානන්ද විදුහලේ සිප් සතර හැදෑරූ සමයේ ද නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ ද එහිම සේවය කිරීමට පටන් ගත් දින සිට අද දක්වා ද දෛනික ව ගමන් කළේ දුම්රියෙනි. මාගේ ජීවිතය කෙතරම් දුරට දුම්රිය සමග බද්ධ වී අැත් දැ යි ඉහත දැක්වූ සිද්ධි දාමයෙන් ප්‍රකට වේ.

      චාරිකා සටහන් වලට දායක වූවෝ..

      සියලු දුම්රිය ගමන් සඳහා මා සමග එක් වන මාගේ කළ්‍යාණ මිත්‍ර බුද්ධික ද සිල්වා මහතාට විශේෂ ස්තූතිය පිරිනැමෙන අතර දුම්රිය ගමන් කිහිපයක් සඳහා සහභාගි වෙමින් අප දෙදෙනා දිරිමත් කළ අපගේ ගුරු දේවයානන් වූ ලලිත් සමලිඅාරච්චි මහතා ද ස්තූති පූර්වකව සිහිපත් කරමි. දුම්රිය ගමන් වලදී මුහුණ පෑමට සිදුවූ සියලු අපහසුතාවන් හි දී මා සමග හිඳිමින් මා හට ශක්තියක් වූයේ බුද්ධික මහතා යි. ඔහු නොවන්නට චාරිකා සටහන් සියල්ල සිහින පමණක් වනු අැත.

      තොරතුරු සියල්ල ගොනු කළ යුතු බවත් ගමන් විස්තර ලේඛනගත කර අන් අයට ද කියවිය හැකි සේ ප්‍රසිද්ධ කළ යුතු බවත් යෝජනා කළ සමලිඅාරච්චි මහතාට නැවතත් ස්තූතිවන්ත වෙමි.

      වෙබ් පිටු නිර්මාණය සහ බ්ලොග් කලාව පිළිබඳ කිසිදු දැනුමක් මා සතු නොවූ අවධියක දුම්රිය චාරිකා සටහන් වෙබ් පිටු හරහා ප්‍රසිද්ධ කළ හැකි බව පසක් කර දී බ්ලොග් කලාවේ අයනු අායනු කියා දුන් මාගේ ප්‍රිය මිතුරිය වන නදීරා මීඩින් මෙනෙවිය ද ඉතාමත් සෙනෙහසින් යුතු ව සිහිපත් කරමි. අැය සතු පරිගනක දැනුම නොමසුරුව සහ ක්‍රමාණුකූලව මවෙත ප්‍රේරණය කිරීමෙන් ද සෑම දුම්රිය චාරිකාවක් ම සාර්ථක ලෙස අාවරණය කිරීමට සාධනීය අදහස් හා යෝජනා සැපයීමෙන් ද අැය ලබා දුන් සහාය පැසසුමට ලක් විය යුතු ය.

      සියලු දුම්රිය ගමන් වාර වල සේවයේ යෙදී සිටි දුම්රිය රියදුරු සහ අාරක්ෂක මහත්වරුන්ට ත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු සේවක මහත්වරුන්ට ත් මාගේ ස්තූතිය මෙයින් පිරිණැමේ.

      දුම්රිය සංචාරය ට උපකාර කළ නම් සඳහන් නොවූ සියලු දෙනා හට ස්තූති වන්ත වෙමි.

      අභිමානවත් ශ්‍රී ලංකා දුම්රිය සේවය සදා කල් දිනේවා ! ෴


      Creative Commons License
      චාරිකා සටහන් - දායකවූවෝ by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.

      Saturday, June 20, 2015

      පිටුව ගැන හැඳින්වීමක්

      ආයුබෝවන්!

      මෙම පිටුව ලිවීමට මා මුලින්ම අදහස් කළේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය පිළිබඳ ව මා මෙතෙක් ලබා ඇති අත්දැකීම් සහ ඉදිරියේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම් සමස්ත ශ්‍රී ලාංකිකයන් සමග බෙදා ගැනීමට යි. ශ්‍රී ලංකාවේ ධාවනය වන සහ අතීතයේ ධාවනය වූ දුම්රිය වර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සොයා ගත හැක. නමුත් මාගේ උත්සාහය වන්නේ ප්‍රධාන වශයෙන්ම දුම්රිය මාර්ග පද්ධතිය පිළිබඳ තොරතුරු සැපයීම යි. ඒ සඳහා සෑම පර්යන්ත දුම්රිය ස්ථානයකට ම දුම්රියෙන් ගමන් කිරීම මගේ අරමුණයි.

      සෑම දුම්රිය ගමනක් අවසානයේදී ම ඒ  පිළිබඳ ඡායාරූප සහිත සවිස්තර වාර්තාවක් මවිසින් පිටුවට එකතු කෙරෙනු ඇත. එසේම ඒ හා බැඳුනු ඓතිහාසික මෙන්ම තාක්ෂණික තොරතුරු ද එක් කිරීමට බලාපොරොත්තු වෙමි.

      සැ.යු. මෙම වෙබ් අඩවියෙහි අඩංගු ලිපි සඳහා මවිසින් භාවිතා කෙරෙනුයේ Creative Commons (CC) නම් වූ හිමිකම් සඳහා වන බලපත්‍ර ක්‍රමය යි. එය විවෘත අධ්‍යාපන සම්පත් (Open Educational Resources - OER) සඳහා බහුලව භාවිතා කෙරෙන බලපත්‍ර ක්‍රමයකි. එබැවින් මෙහි අන්තර්ගතය මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ උපුටා ගැනීමට යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් CC license පිළිබඳ අදාල වෙබ් අඩවියෙන් කරුණු සොයා බැලීමෙන් පසු අදාල උපුටා ගැනීම සිදු කළ හැක. සෑම ලිපියකම අවසානයේ අදාල බලපත්‍රය දක්වා අැති අතර ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ද විශේෂයෙන් දක්වා නැති ඕනෑම අවස්ථාවක එම බලපත්‍රය ම බලපැවැත්වේ.

      ගවේෂණය, ඉතිහාසය සහ දුම්රිය පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් පාසල් සිසුන්ටත් පිටුව සමග රැඳී සිටීමට  ආරාධනය කරමි. පිටුව පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා මවෙත එවීමට කාරුණික වන්න.

      ස්තූතියි!

      Creative Commons License
      ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග - චාරිකා සටහන් පිටුව ගැන හැඳින්වීමක් by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.