Friday, August 7, 2015

මාතලේ මාර්ගය - චාරිකා සටහන්

චාරිකා සටහන් වලින් මෙවර ලියැවෙන්නේ මාතලේ දුම්රිය මාර්ගය ගැනයි. 

ශ්‍රී ලංකාවේ දෛනික ගමන්වාර සිදුකෙරෙන දුම්රිය මාර්ග අතරෙන් දිගින් අඩුම දුම්රිය මාර්ගය වන්නේ මතලේ මාර්ගය යි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙබ් අඩවියට අනුව මාතලේ මාර්ගයේ එනම් පේරාදෙණිය සිට මාතලේට අැති දුර කිලෝමීටර 33.758 කි. පැයකුත් විනාඩි විස්සක පමණ ගමනකින් මාතලේට දුම්රියෙන් ළඟා විය හැක. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අංක 2 වශයෙන් නම් කර අැත්තේ මාතලේ මාර්ගය යි.

කලින් සඳහන් කළ පරිදි මාතලේ මාර්ගය ආරම්භ වන්නේ පේරාදෙණිය සන්ධිය දුම්රිය ස්ථානයෙනි. ඇතැම් අය මහනුවර, ප්‍රධාන මාර්ගයට අයත් දුම්රිය ස්ථානයක් සේ වැරදි ලෙස වටහා ගෙන සිටිති. එසේ පිලිගනු ලබන්නන් විසින් මාතලේ මාර්ගය මහනුවර සිට ආරම්භ වනු ඇතැයි විශ්වාස කෙරෙති. එබැවින් මෙහි ඉතිහාසය විමසා බැලීම වැදගත් යැයි සිතමි. මුලින්ම දුම්රිය මාර්ගය මහනුවර දක්වා තැනෙන්නේ 1867 වසරේදී ය. එකල ප්‍රධාන මාර්ගය වන්නේ කොළඹ සිට මහනුවර දක්වා යි. නමුත් 1873 වසර වන විට පේරාදෙණිය සන්ධියක් බවට පත්වන්නේ ගම්පොල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමෙනි. මාතලේ දක්වා මාර්ගය තැනෙන්නේ 1880 වසරේදී ය. එතෙක් මහනුවර යනු ප්‍රධාන මාර්ගයේ ම දිගුවකි. පසු කාලීනව මාතලේ මාර්ගය පේරාදෙණියෙන් අාරම්භ වන ලෙස ද මහනුවර, මාතලේ මාර්ගයට අයත් ලෙස ද සලකා අැත. වත්මන් පිලිගැනීම එය යි. මහනුවර දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ රතු පැහැයෙන් අංක දෙක දක්වා තිබීමෙන් එය මාතලේ මාර්ගයට අයත් වන බවට පැහැදිලි සාක්ෂියක් සපයා ගත හැක. ඒ අනුව මාතලේ මාර්ගය පේරාදෙණියෙන් අාරම්භ වී මහනුවර හරහා මාතලේ දක්වා අැදෙයි. මෙම ලිපිය ලියැවෙන්නේත් එකී නිවැරදි පදනම මත සිට යි. මේ පිලිබඳ තොරතුරු David Hyatt නම් කතුවරයාගේ Railways of Sri Lanka ග්‍රන්ථයේ 2007 අැමුණුමෙන් ලබා ගත හැක.

මාතලේ මාර්ගයේ පේරාදෙණිය සිට මහනුවර දක්වා පමණක් වර්ණ සංඥා භාවිතා වන අතර එතැනින් ඔබ්බට ටැබ්ලට් ක්‍රමය භාවිතා වේ.

මහනුවර සිට මාතලේ නගරයට ළඟා වීමට ප්‍රධාන බස් මාර්ග දෙකක් අැත. ඉන් පළමුවැන්න මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ බලකඩුව දුර්ගය හරහා මාතලේට ළඟා වන මාර්ගය යි. එය මහනුවර සිට යාපනය දක්වා අැදෙන සුප්‍රසිද්ධ A9 මහා මාර්ගය යි. දෙවැන්න කටුගස්තොටින් මඩවල සහ වත්තේගම හරහා මාතලේට ළඟා වන මාර්ගය යි. එ්වා පිළිවෙලින් වරකාමුර පාර සහ වත්තේගම පාර නමින් ප්‍රචලිතව පවතී. දුම්රිය මාර්ගය දිවෙන්නේ වත්තේගම පාරට අාසන්නව යි. එබැවින් වත්තේගම පාරේ හමුවන ප්‍රධාන නගර වන වත්තේගම සහ උකුවෙල දුම්රිය මාර්ගයට ද හමු වේ. මහනුවර - මාතලේ බස් ගමනාගමනය ඉතා සාර්ථකව සිදුවන බැවින් දුම්රිය බහුලව භාවිතා කරන්නේ බස් මාර්ගයෙන් තරමක් බැහැරට වන්නට පිහිටි ගම් ප්‍රදේශ වලට යන මගීන් පමණි. සතියේ දිනවල පාසල් සිසුන් ද දුම්රියෙන් ගමන් කරන අයුරු දැක ගත හැක.

දුමිරිය ස්ථාන ලැයිස්තුව

  1. පේරාදෙණිය සන්ධිය 
  2. සරසවි උයන
    • රජවත්ත
    • රැන්ඩල්ස් හිල්
    • සුදුහුම්පොල
  3. මහනුවර
    • අස්ගිරිය
  4. මහයියාව
    • කටුගස්තොට පාර
  5. මාවිල්මඩ
  6. කටුගස්තොට
  7. පල්ලේතලවින්න
  8. උඩතලවින්න
  9. මීගම්මන
    • යටිරාවන
  10. වත්තේගම
    • යටවර
  11. පතන්පහ
    • මාරුකොත
  12. උඩත්තාවල
  13. උකුවෙල
    • තවලන්කොය
    • අැල්වල
    • කොහොඹිළිවෙල
  14. මාතලේ
චාරිකාව ගැන

දිනය - 2015 ජූලි මස 16 බ්‍රහස්පතින්දා
ගමනාරම්භය - මහනුවර දුම්රිය ස්ථානය
පිටත් වීම - පෙ.ව. 10:20
දුම්රිය ගමන් වාරය - අංක 2237 මහනුවර සිට මාතලේ දක්වා දිනපතා
ගමනාන්තයට ළඟා වීම - පෙ.ව. 11:40‍
ආපසු පැමිණීම
මාතලෙන් පිටත් වීම - ප.ව. 1:55
දුම්රිය ගමන් වාරය - අංක 2633 මාතලේ සිට පේරාදෙණිය සන්ධිය දක්වා දිනපතා
මහනුවරට ළඟා වීම - ප.ව. 3:25

චාරිකා තොරතුරු

මාතලේ මාර්ගය අාරම්භ වන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් වූවත් මා ගම්පහ සිට මහනුවරට ළඟා වන්නේ කොළඹ - මහනුවර උදෑසන නගරාන්තර දුම්රියෙනි. එබැවින් මාතලේ මාර්ගයට අයත් පේරාදෙණිය සිට මහනුවර දක්වා කොටස නගරාන්තර දුම්රියෙනුත් මහනුවර සිට මාතලේ දක්වා කොටස ප්‍රාදේශීය දුම්රියකිනුත් ගමන් කළෙමි.

පේරාදෙණිය දුම්රිය ස්ථානය පිහිටීම අතින් සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් දුම්රිය මංසන්ධි වල මෙන් නොව මෙහි ත්‍රිකෝණාකාරව පිහිටි වේදිකා තුනක් අැත. පළමුවන වේදිකාව පිහිටියේ කොළඹ සිට මහනුවර දෙසට යොමුවන පරිදි ය. දෙවන වේදිකාව පිහිටියේ මහනුවර සිට බදුල්ල දෙසට යොමුවන පරිදි ය. තුන්වන වේදිකාව කොළඹ සිට බදුල්ල දෙසට යොමු වන සේ පිහිටා අැත. එ් අනුව දුම්රියක් කුමන මාර්ගයක කවර දෙසින් පැමිණියත් පේරාදෙණියේ දී ඕනෑම මාර්ගයකට පහසුවෙන් පිවිසිය හැක. මාර්ග බෙදී යන අාකාරය වටහාගැනීමට ඡායාරූප බලන්න.

කොළඹ සිට බදුල්ලට දිවෙන මාර්ගය (තුන්වන වේදකාව)


පේරාදෙණිය තුන්වන වේදිකාව බදුල්ල දෙසට

පේරාදෙණිය තුන්වන වේදිකාව කොළඹ දෙසට

පේරාදෙණියේ තුන්වන වේදිකාවේ නාම පුවරුව මාතලේ මාර්ගයේ සිට පෙනෙන අයුරු
පේරාදෙණිය දුම්රිය ස්ථානයට ඇතුල් විය යුත්තේ පැණිදෙණිය පාරෙනි. ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ස්ථානයෙන් කෙළින්ම පිවිසෙන්නේ පළමුවන වේදිකාවට යි. එතැනින් දෙවන වේදිකාවට ගමන් කළ හැකි අතර තුන්වන වේදිකාවට පිවිසීමට නම් දෙවන වේදිකාව කෙලවර පිහිටි මගී පාලමෙන් පැණිදෙණිය පාර පසු කළ යුතු ය.


පේරාදෙණිය දෙවන වේදිකාවෙන් තුන්වන වේදිකාවට පිවිසීමට ඇති මගී පාලම
පේරාදෙණිය තුන්වන වේදිකාවෙන් මගී පාලමට පිවිසෙන ස්ථානය

පේරාදෙණිය තුන්වන වේදිකාවේ සිට පළමු සහ දෙවන වේදිකා වලට පිවිසෙන ස්ථානයේ දැන්වීම් පුවරුව
 සාමාන්‍යයෙන් පේරාදෙණියේ තුන්වන වේදිකාව භාවිතා වන්නේ නැත. එසේ භාවිතා කෙරෙනවා නම් අවශ්‍ය වන්නේ යම් දුම්රියක් කොළඹ සිට බදුල්ලට දෙසට ධාවනය කිරීමේදී මහනුවරට නොගොස් පේරාදෙණියෙන් කෙළින්ම බදුල්ල දෙසට ධාවනය වන්නේ නම් පමණි. කොළඹ සිට බදුල්ලට දෙසට ධාවනය වන දුම්රිය ගමන් වාර අැත්තේ පහකි. එ්වා නම්,
  1. අංක 1005 - මහනුවර සහ බදුල්ල (පොඩි මැණිකේ)
  2. අංක 1015 - මහනුවර සහ බදුල්ල (උඩරට මැණිකේ)
  3. අංක 1007 - බදුල්ල (ශීඝ්‍රගාමී)
  4. අංක 1023 - මහනුවර සහ හැටන් (ටිකිරි මැණිකේ)
  5. අංක 1045 - බදුල්ල (රාත්‍රී තැපැල් දුම්රිය)
මේ දුම්රිය අතරින් අංක 1007 සහ 1045 (රාත්‍රී තැපැල්) දුම්රිය හැරුණු විට අනෙක් දුම්රිය සියල්ලක්ම මහනුවරට ගොස් අාපසු බදුල්ල දෙසට ගමන් කරයි. පේරාදෙණිය තුන්වන වේදිකාවේ ඉඩ පහසුකම් අඩු බැවින් අංක 1007 සහ 1045 දුම්රිය මුළින් පළමුවන වේදිකාවට අැතුල් කර මගීන් හට ගොඩවීමට ඉඩ සලස්වයි. ඉන් අනතුරුව මාර්ගය මාරු කරවන ස්ථානය දක්වා පසුපසට (කොළඹ දෙසට) ධාවනය කර තුන්වන වේදිකාව අැති මාර්ගයෙන් එහි නොනවත්වා බදුල්ල දෙසට ගමන් කරයි. එලෙසම බදුල්ල දෙසින් අාපසු පැමිණෙන දුම්රිය ගමන් වාර වන අංක 1008 සහ 1046 දුම්රිය දෙක ද දෙවන වේදිකාවට අැතුල් කර මහනුවරට නොගොස් පසු පසට ධාවනය කර තුන්වන වේදිකාව අැති මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කෙරේ. මේ අනුව ඉහළට ධාවනය වන අංක 1005, 1015 සහ 1023 දුම්රිය තුන ද පහළට ධාවනය වන අංක 1024, 1016 සහ 1006 දුම්රිය තුන ද එක් ගමන් වාරයකදී දෙවරක් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීම විශේෂත්වයකි. මීට අමතරව පොල්ගහවෙල සිට නාවලපිටියට ධාවනය වන අංක 1120 ප්‍රාදේශීය දුම්රිය ද මහනුවරට ගොස් නැවත පැමිණේ.

    පළමු වන වේදිකාවේ සිට දෙවන වේදිකාව පෙනෙන අයුරු. නාම පුවරු දෙස බලන්න.
    පේරාදෙණිය පළමුවන වේදිකාවේ නාම පුවරුවේ දැක්වෙන්නේ එක් දිශාවකට මහනුවර සහ මාතලේට - අනෙක් පසට කොළඹට යනුවෙනි. දෙවන වේදිකාවේ දැක්වෙන්නේ එක් දිශාවකට මහනුවර සහ මාතලේට - අනෙක් පසට බදුල්ලට යනුවෙනි. සමහර අවස්ථා වලදී මගීන්ට පේරාදෙණියේදී එක් දුම්රියකින් තවත් දුම්රියකට මාරු වීමට සිදු වේ. නිදසුනක් ලෙස බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ පැමිණෙන මගීන්ට මහනුවරට ගමන් කිරීමට නම් පේරාදෙණියේ දී වෙනත් දුම්රියකට මාරු විය යුතු ය.

    එකිනෙක අෑත් වී යන සේ පිහිටි පළමු සහ දෙවන වේදිකා


    වම් පසින් හැරී ගමන් කරන්නේ මහනුවර සිට බදුල්ලට දිවෙන මාර්ගය යි. ත්‍රිකෝණාකාර බව මනාව දිස්වේ.
    පේරාදෙණිය දුම්රිය ස්ථානයට පිවිසෙන කෙනෙකුට පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල දැක ගත හැක. එය ඉදිවූ වර්ෂය ලෙස සඳහන්ව අැත්තේ 1867 වර්ෂය යි. මෙවැනි මුල් යුගයේ දුම්රිය ස්ථාන ගොඩනැගිලි වලින් අද ඉතිරිව අැත්තේ පේරාදෙණියත් 1864 දී ඉදිවුනු හෙනරත්ගොඩත් පමණි. හෙනරත්ගොඩ යනු ගම්පහ ට අතීතයේ භාවිතා වූ නාමය යි. මෙම ගොඩනැගිලි දෙකම පෙනුමෙන් එක හා සමානය. අනෙකුත් දුම්රිය ස්ථාන ගොඩනැගිලි පසු කාලීනව කඩා ඉවත් කර නව ගොඩනැගිලි ඉදි වූ බැවින් අද වන විට දැක ගැනීමට නොලැබේ.

    පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය

    පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය
    පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සංඥා මැදිරි තුනක් ඇත. ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වන්නට පේරාදෙණිය බටහිර සංඥා මැදිරියත් බදුල්ල දෙසට වන්නට පේරාදෙණිය දකුණ සංඥා මැදිරියත් පිහිටා ඇති අතර දුම්රිය ස්ථානයේ ම අනෙක් සංඥා මැදිරියත් පිහිටා ඇත.
    පේරාදෙණිය සන්ධිය සංඥා මැදිරිය
    පේරාදෙණිය දකුණ සංඥා මැදිරිය (වම් පස මාර්ගය කොළඹ දෙසට වන අතර දකුණු පස මහනුවර දෙසට වේ)

    පේරාදෙණිය බටහිර සංඥා මැදිරිය

    පේරාදෙණිය දුම්රිය ස්ථානය පිහිටා ඇති ප්‍රදේශය පැණිදෙණිය යි. දුම්රිය ස්ථානය අසලින් දිවෙන මාර්ගය හඳුන්වන්නේ ද පැණිදෙණිය පාර නමිනි. පේරාදෙණිය - ගම්පොළ පාරෙන් හැරී එන එම මාර්ගයෙන් දවුලගල ග්‍රාමයට ළඟා විට හැක. මහනුවර රාජධානි සමයේ ජනාවාස වූ මේ ප්‍රදේශ වල ඓතිහාසික වැදගත් කමකින් යුත් පැරණි රජමහා විහාර රාශියක් ඇත. කොළඹ - නුවර A1 මාර්ගයේ සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටයි.

    දුම්රිය ස්ථානය සහ ගම්පොල පාර අතර සුවිශේෂී පිහිටීමක් ඇත. සැබැවින්ම පේරාදෙණිය - නුවරඑළිය A5 මාර්ගය වන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලින් ඇති හරස් මාර්ගය සම්බන්ධ වන පාරයි. එහි කිලෝමීටර කණු වලින් ඒ බව තහවුරු වේ. නමුත් වර්තමානයේ නුවරඑළිය පාර පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලට පැමිණීමකින් තොරව කෙළින්ම ගම්පොල දෙසට ගමන් කරයි. එම මාර්ගය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පාලමක් මතින් දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරයි. එසේම පැරණි පාර හරස් මාර්ගයෙන් ගොස් තුන්වන වේදිකාව පිහිටි දුම්රිය මාර්ගයට යටින් ගමන් කරයි. ඒ අනුව පේරාදෙණියේ දී දුම්රිය මාර්ගය ඉහළින් පහළින් සහ සම මට්ටමින් (over crossing, under crossing and level crossing) යන ක්‍රම තුනටම මහා මාර්ග හරහා ගමන් කරයි. එවැනි පිහිටීමක් සහිත එකම දුම්රිය ස්ථානය පේරාදෙණිය යි.

    A5 මාර්ගය දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරන පාලම (over crossing). වම් පසින් දිස්වන්නේ A5 පාරෙන් පහළට පැමිණෙන පැණිදෙණිය පාරයි. එය දුම්රිය ස්ථානය අසල ඇති හරස් මාර්ගය දක්වා දිවෙයි.
    පැණිදෙණිය පාර හරස් මාර්ගයෙන් පසු තුන්වන වේදිකාව අසල මාර්ගයට යටින් ගමන් කරන අයුරු (under crossing)
    පැණිදෙණිය පාර දුම්රිය මාර්ගයට යටින් ගමන් කළ පසු වම් පසට නැවතත් නුවරඑළිය පාරට සම්බන්ධ විය හැකි අතර දකුණු පසට දවුලගල ග්‍රාමය දෙසට ගමන් කරයි.
    දුම්රිය මාර්ගයට යටින් ගමන් කරන පැණිදෙණිය පාර වම් පසට නැවතත් නුවරඑළිය පාරට සම්බන්ධ වේ.
    දුම්රිය චාරිකාවක යෙදෙන අතරතුර පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් බැස මේ අපූරු පිහිටීම සියැසින් දැක ගැනීම ඉතා වටිනා බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

    පේරාදෙණිය පසු කරනවාත් සමගම සුවිශේෂී ස්ථානයක් හමු වේ. එතැන දී මහවැළි ගඟ හරහා දිවෙන පාලම හමු වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිවුනු පේරාදෙණිය පාලම ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ වැදගත් නිර්මාණයකි.

    පේරාදෙණිය පාලමේ සුවිශේෂී හැඩය

    මහනුවර නගරය මැදි කොට ගලා බසින මහවැළි ගඟ


    මහවැළි ගඟ සීමාවේදී දුම්රිය මාර්ගය ඇතුල් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියට යි. දෙපසින් පෙනෙන්නේ විශ්ව විද්‍යාල ගොඩනැගිලි ය. සැබැවින්ම අධ්‍යාපනයට යෝග්‍ය වන අයුරින් මනා ලෙස සැලසුම් කොට තනා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලය අප රටට හිමි වටිනා සම්පතකි. මෙරට විශ්ව විද්‍යාල වලට ඇතුල් වන සිසු දරුවන් අතරින් මෙවැනි සම්පත් වල ප්‍රයෝජන නිසියාකාරව ලබා ගෙන රටට වැඩදායී පුරවැසියන් ලෙසට සමාජගත වන්නේ අතලොස්සක් පමණි. විශ්ව විද්‍යාලයට ම තැනුනු සරසවි උයන දුම්රිය ස්ථානය මීළඟට හමු වේ.

    පේරාදෙණිය - මහනුවර කොට්ඨාසයේ වර්ණ සංඥා

    සරසවි උයන දුම්රිය ස්ථානය විසින් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට ප්‍රවාහන පහසුව සලසනු ලැබේ. නිවාඩුවට නිවෙස් බලා යන සිසුන් මෙහිදී බහුලව දැක ගත හැක. අත රැඳි ගමන් මල්ල ද නූතන සරසවි සිසුන් වෙත සුලබ මෙවලමක් වන ලැප්ටොප් පරිගනකය ද සරසවි සිසුන් හඳුනා ගත හැකි පොදු ලක්ෂණ යි. ඔවුන්ගේ මුහුණු වලින් පිළිබිඹු වන්නේ බාධක මැද අධ්‍යාපනය හදාරා උපාධිය නම් සිහිනය සැබෑවක් කරගැනීමට දරණ උත්සාහයේ ඡායාවකි. මොවුන් හෙට දින රටට සලසන සේවය කුමක් වේවිද? වසරක් පාසා සරසවි උයනට යන එන අයගේ අනාගතය කුමක් වේවිද? මේ සරසවි උයන පසුකරන සෑම දිනකම මගේ සිතට නැගුණූ පැනයකි.

    සරසවි උයන දුම්රිය ස්ථානය

    සරසවි භූමිය පසු කරන අතරතුර දුම්රිය මාර්ගයට ඉහළින් ගමන කරන තවත් පාලමක් ඇත. ඒ ගලහ පාර යි.

    දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරන ගලහ පාර

    මීළඟට හමුවන්නේ මාතලේ මාර්ගයේ පළමුවන දුම්රිය නැවතුම් පොළ වන රජවත්ත යි.

    රජවත්ත දුම්රිය නැවතුම් පොළ

    මහනුවර නගරයට පිවිසීමට පෙර තවත් කුඩා පාලමක් පසු වන අතර එය වැටී ඇත්තේ මහනුවර නගරයේ සිට මහවැළි ගඟට එක් වන අැළ මාර්ගයකට ය. එම පාලම යටින්ම කුඩා පාරක් ඇති අතර ඒ දංගොල්ල පාර යි.

    දංගොල්ල පාර

    මීළඟට ගැටඹේ දුම්රිය හරස් මාර්ගය හමු වේ. එතැනින් දිවෙන්නේ කොළඹ - මහනුවර A1 මහා මාර්ගය යි. අතීතයේ A1 මාර්ගය වැටී තිබුණේ දුම්රිය මාර්ගයට වම් පසිනි. එම මාර්ගය පළලින් අඩු විය. පුළුල් කිරීමට ඇති අවකාශය ද අඩු ය. එබැවින්, වැඩි වන රථවාහන තදබදයට විසඳුමක් ලෙස දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් මෙම නව මාර්ගය ගැටඹේ සිට මහනුවර නගරය දක්වා ඉදි කරවන ලදී. එය "විලියම් ගොපල්ලාව මාවත" නමින් හැඳින්වේ. මෙම ඉදිකිරීමෙන් පසු මහනුවර ජනතාව මෙයට "අළුත් පාර" යැයි භාවිතා කරන ලදී. පෙර තිබූ පාර "පේරාදෙණිය පාර" ලෙස හැඳින්වේ.

    මහනුවර අළුත් පාර හෙවත් විලියම් ගොපල්ලාව මාවත

    ගැටඹේ සිට මහනුවර ට ළඟා වන තෙක්ම අළුත් පාර දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කරයි. අළුත් පාරට අැති නැවතුම් පොළ රැන්ඩල්ස් හිල් නම් වේ‍. මහනුවර කිංස්වුඩ් (Kingswood) විද්‍යාලයේ සිසුන් හට දුම්රියට නැගීමට ඇත්තේ මේ දුම්රිය නැවතුම් පොළයි. එසේම එම විද්‍යාලය පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ සිට හඳුන්වා ඇත්තේ රැන්ඩල්ස් හිල් නමිනි.

    රැන්ඩල්ස් හිල් දුම්රිය නැවතුම් පොළ

    අළුත් පාරේ මිළඟට හමුවන්නේ මහනුවර නව අධිකරණ සංකීර්ණය යි. අතීතයේ අධිකරණ සංකීර්ණය පවත්වා ගෙන යනු ලැබුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව පිටුපස පිහිටි ගොඩනැගිල්ලේ ය. නමුත් එම ස්ථානයේ ඉඩ පහසුකම් අඩු වීම නිසාත් පූජා භූමිය අසල අධිකරණ කටයුතු සිදු කිරීම නිසා ඇති වන අවහිරතාව නිසාත් නව ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගෙන ඒම සිදු විය.
    මහනුවරට ආසන්නවම සුදුහුම්පොළ දුම්රිය නැවතුම් පොළ හමු වේ. එය ද පාසල් සිසුන් ට ගමන් කිරීම සඳහා බහුලව භාවිතා වේ.
    සුදුහුම්පොළ දුම්රිය නැවතුම් පොළ

    මහනුවර ට ළඟා වන විට දකුණු පසින් දිස්වන්නේ මහනුවර අනන්‍යතාව පිළිබිඹු කෙරෙන සුන්දර හන්තාන කඳු වැටිය යි.‍
    සුන්දර හන්තාන කඳු වැටිය

    මහනුවර දුම්රිය ස්ථානයට පිවිසෙන විට වම් පසින් දිස්වන්නේ බහිරව කන්ද බුද්ධ ප්‍රතිමා වහන්සේ යි.
    බහිරව කන්ද බුද්ධ ප්‍රතිමා වහන්සේ
    මාතලේ මාර්ගයේ වැදගත්ම දුම්රිය ස්ථානය වන මහනුවර දුම්රිය ස්ථානය මීළඟට හමු වේ. මේ ඇතුල් වන්නේ ලෝක උරුම නගරයකට යි.

    මහනුවර දුම්රිය ස්ථානයේ නාම පුවරුව
    මහනුවර දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ දැක්වෙන්නේ එය අංක දෙක දරණ මාර්ගයට අයත් බවයි. එය නිරූපණය වන්නේ රතු පැහැති දෙකේ ඉලක්කමෙනි.
    මහනුවර දුම්රිය ස්ථානයේ නාම පුවරුව
    මහනුවර දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ දැකුම්කළු මෙන්ම පහසුකම් අතින්ද ඉහළ තැනක් ගන්නා දුම්රිය ස්ථානයකි. එහි ධාවනාගාරයක් සහ හැරවුම් පීඨිකාවක් ද අැත. දිගු ගමන් වලින් පසු පැමිණෙන දුම්රිය එන්ජින් වල සේවා කටයුතු මෙන්ම ප්‍රාදේශීය ගමන් වාර සඳහා යොදා ගැනෙන එන්ජින් වල නඩත්තු කටයුතු ද මහනුවර ධාවනාගාරයේ දී සිදු කෙරේ. ධාවනාගාරයේ ෂන්ටින් කටයුතු සඳහා Y පන්තියේ Hunslet එන්ජිමක් ද මහනුවර ඇත.
    මහනුවර හැරවුම් පීඨිකාව (Turn table)

    මහනුවරදී ෂන්ටින් කටයුතු වල නියැලෙන හන්ස්ලට් (Hunslet) එන්ජිමක්

    කොළඹ කොටුව සිට මහනුවරට පැමිණි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හැරවුම් පීඨිකාවේදී හැරවෙන අයුරු පහත වීඩියෝවෙන් බලන්න.



    මහනුවර දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව මාතලේ මාර්ගය සඳහා වෙන් වී අැත. එහි දෙවන සහ තුන්වන වේදිකා කොළඹ සිට පැමිණෙන හා කොළඹ කොටුව බලා පිටත් වන දුම්රිය සඳහා බහුලව භාවතා වේ. සිව්වන සහ පස්වන වේදිකා භාවිතා වන්නේ නාවලපිටිය හා පොල්ගහවෙල අාදී ගමනාන්තයන්ට දිවෙන ප්‍රාදේශීය දුම්රිය නැවැත්වීමට ය. පළමුවන වේදිකාව හැර අනෙක් සියලුම වේදිකා මහනුවරින් කෙළවර වේ. පළමුවන වේදිකාව මාතලේ මාර්ගය ලෙස විහිදුනත් දුම්රිය ධාවනය නොවන අවස්ථා වලදී ගේට්ටුවකින් වසා තැබේ. එයට හේතුව නම් මාතලේ මාර්ගය මහනුවර දුම්රිය ස්ථානයෙන් පසු කෙළින්ම දිවෙන්නේ අතිශය ජනාකීර්ණ මහා මාර්ගයක් හරහා වීමයි. ගේට්ටුව නොවන්නට අනවසරයෙන් මගීන්ට දුම්රිය ස්ථානයට අැතුළු වීමට ඉඩ කඩ අැත.
    මහනුවර පළමු සහ දෙවන වේදිකා

    මහනුවර පළමුවන වේදිකාවෙන් පිටත් වන මාතලේ මාර්ගය

    මාතලේ මාර්ගයට ඇති ගේට්ටුව
    මහනුවර දෙවන වේදිකාවේ නවතා ඇති ටිකිරි මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වීමට සූදානම්ව

    මහනුවර දෙවන සහ තුන්වන වේදිකා කෙළවර වන සථානය

    මහනුවර තුන්වන වේදිකාවට පැමිණි දුම්රියක එන්ජිම ගලවා පසුපසට රැගෙන යාමට සූදානම්ව

    මහනුවර හතරවන වේදිකාවේ නවතා ඇති පොල්ගහවෙල ප්‍රාදේශීය දුම්රිය

    මහනුවර පස්වන වේදිකාවේ නවතා ඇති නාවලපිටිය ප්‍රාදේශීය දුම්රිය. දකුණු පසින් පෙනෙන මාර්ග දිවෙන්නේ ධාවනාගාරයටයි.


    මහනුවර දුම්රිය ස්ථානයේ වේදිකා වලට දුම්රිය ඇතුල්වන අන්තය‍. දකුණු පසින් ඇත්තේ සංඥා මැදිරිය යි.
    මහනුවර දුම්රිය ස්ථානයෙන් පේරාදෙණිය දෙසට පිටත්  වන දුම්රිය ඇතුල් වන්නේ වර්ණ සංඥා කොට්ඨාසයකට යි. ඒ බව සංඥා මැදිරියේ ඉහළ සවි කර ඇති පුවරුවක සඳහන් වේ. මාතලේ බලා ගමන් ගන්නා දුම්රියට පමණක් ටැබ්ලට් ලබා දීම සිදු කෙරේ.
    වර්ණ සංඥා භාවිතා වන බව දැන්වෙන පුවරුව

    මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට අවසර දෙන සංඥා කුළුණු

    මහනුවර දුම්රිය අංගනයේ ගාල් කර ඇති දුම්රියක්

    පෙ.ව. 10:20ට මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය මහනුවරදී



    මහනුවර දුම්රිය ස්ථානයේ පළමුවෙනි වේදිකාවේ සිට මාතලේ දෙසට සැලකිය යුතු නැග්මක් ඇත. එය වේදිකාවේ සිට බලන කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. දුම්රිය පිටත් වී දුම්රිය ස්ථානයෙන් මද දුරක් ගිය විට වේදිකාවල මට්ටම සෑහෙන පහළින් දර්ශනය වේ.‍
    මහනුවරින් පිටත් වූ මාතලේ දුම්රියේ සිට දුම්රිය ස්ථානය පෙනෙන අයුරු. ඈතින් පෙනෙන වේදිකාවල මට්ටම නිරීක්ෂණය කරන්න

    මහනුවරින් පිටත් වූ මාතලේ දුම්රිය

    මහනුවර දුම්රිය ස්ථානය
    දුම්රිය හරස් මාර්ගය මැදින්

    මාතලේ මාර්ගය සෑහෙන දුරක් යනතුරු ගමන් ගන්නේ මහනුවර නගරය මැදිනි. දුම්රිය ස්ථානයේ සිට මහනුවර ඔරලෝසු කණුව දක්වා එය බස් මාර්ගයට සමාන්තරව ගමන් කරයි. අතීතයේ මේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයත් මහා මාර්ගයත් අතර පටු බිම් තීරුවේ කුඩා පරිමාණයේ කඩ සාප්පු විශාල සංඛ්‍යාවක් තිබුණි. ඒ සියල්ලක්ම අනවසර ඉදිකිරීම් වූ බැවින් 2014 වසරේ මහනුවර නගර අලංකරණ වැඩ සටහන යටතේ ඉවත් කෙරින.
    මහනුවර නගරය මැදින්

    මහනුවර නගරයේ ඇති ගොඩනැගිලි බොහොමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි වූ වික්ටෝරියා ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් ඒවා ය. මහනුවර ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එවැනි ගොඩනැගිලි වල බාහිර ස්වරූපය වෙනස් කිරීමට ඒවායේ හිමිකරුවන්ට ද අවසර නැත. එබැවින් අදටත් එම ගොඩනැගිලි පැරණි ස්වභාවයෙන්ම දක්නට ලැබේ‍. දුම්රියෙන් ගමන් කරද්දී දක්නට ලැබෙන එවැනි ගොඩනැගිල්ලක් වන්නේ මහනුවර තැපැල් කාර්යාල සංකීර්ණය යි.
    මහනුවර තැපැල් කාර්යාලය

    ලමාගාරය මාවත හරස් මාර්ගය

    මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය

    ඔරලෝසු කණුව ආසන්නයට පැමිණීමෙන් පසුව දුම්රිය මාර්ගය නගරයෙන් ඈත් වේ. එතැනදී පේරාදෙණිය පාර දුම්රිය මාර්ගයට ඉහළින් පාලමක් මතින් ගමන් කරයි. එතැන් සිට දුම්රිය මාර්ගය වඩුගොඩපිටිය වීදියට සමාන්තරව ඇදෙයි. ඒ ආසන්නයේදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය දර්ශනය වේ.‍ වඩුගොඩපිටිය වීදිය යනු මහනුවර නගරයේ එකිනෙකට සමාන්තරව පිහිටි වීදි හතරෙන් බටහිර කෙළවරට වන්නට ඇති වීදිය යි. ඉතිරි වීදි නම් බටහිර සිට පිළිවෙලින් යටිනුවර වීදිය, කොටුගොඩැල්ල වීදිය (වර්තමානයේ ඊ.එල්. සේනානයක වීදිය) සහ ත්‍රිකුණාමලය වීදිය (වර්තමානයේ ඩී.එස්. සේනානයක වීදිය) යි.
    ඇතින් පෙනෙන්නේ පේරාදෙණිය පාර ගමන් කරන පාලම යි. වම් පස ඉහළින් වඩුගොඩපිටිය වීදිය යි.

    වඩුගොඩපිටිය වීදිය
    මීළඟට හමුවන්නේ අස්ගිරිය දුම්රිය නැවතුම් පොල යි. එයට යාබදව ඇත්තේ බහිරව කන්ද පාරේ සිට පැමිණෙන වාරියපොල ශ්‍රී සුමංගල මාවත යි. එය මීරමක්කම් පල්ලිය අසල දී අස්ගිරි විහාර මාවත සමග එක්ව දුම්රිය මාර්ගය හරහා යමින් කන්දේ වීදිය ට එක් වේ.
    අස්ගිරිය දුම්රිය නැවතුම් පොල
    මහනුවර මීරමක්කම් පල්ලිය

    මීරක්කම් පල්ලිය මහනුවර පිහිටි එෙතිහාසික වැදගත් කමකින් යුත් ගොඩනැගිල්ලකි. මහනුවර නගරයේ මුස්ලිම් ජනතාව පැරණි රජ දවස සිටම ජනාවාස පිහිටුවා ගෙන අැත. අලංකාර ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් සමන්විත මෙම දේවස්ථානය ඉදිව අැත්තේ 1824 වසරේදී ය. එබැවින් එහි ඉතිහාසය දහනව වන ශතවර්ෂය දක්වා අෑතට දිව යයි.
    අස්ගිරි විහාර මාවත

    මීළඟට අස්ගිරිය බිම් ගෙය හමු වේ. මෙය මාතලේ මාර්ගයට හමු වන එකම බිම් ගෙය යි. එ් සඳහා ප්‍රධාන මාර්ගයේ මෙන් අංක යොදා නොතිබීම විශේෂත්වයකි.
    අස්ගිරිය බිම්ගෙය

    මීළඟ දුම්රිය ස්ථානය මහයියාවයි. පැරණි දුම්රිය ස්ථානයක් වන මෙහි ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරයි. මාතලේ මාර්ගයේ සියලු පැරණි දුම්රිය ස්ථාන වල දක්නට ලැබෙන්නේ එකම අාකෘතියකි.
    මහයියාව දුම්රිය ස්ථානය

    මහයියාව දුම්රිය ස්ථානය


    මහනුවර නගරයේ වැදගත් ස්ථානයක් වන මහයියාව පොදු සුසාන භූමිය මීළඟට හමු වේ. තරමක් උසින් පිහිටි දර්ශනීය භූමි භාගයක මෙම සුසාන භූමිය පැතිරී අැත. එහි එක් කෙළවරකට වන්නට මහයියාව මුස්ලිම් දේවස්ථානය පිහිටා අැත. මහයියාව ප්‍රදේශයේ ද සැලකිය යුතු සංඛ්‍යාවක මුස්ලිම් ජනතාවක් ජීවත් වෙති.
    මහයියාව පොදු සුසාන භූමිය

    මහයියාව මුස්ලිම් දේවස්ථානය
    මීළඟට මහයියාව දුම්රිය හරස් මාර්ගය හමු වේ. එතැනදී මහයියාව පාර කටුගස්තොට පාර ට එනම් A9 පාර ට එක් වේ. එය මහනුවර පොලිස් ස්ථානය ඉදිරිපිටින් අාරම්භ වී දුම්රිය මාර්ගයට වම් පසින් පුෂ්පදාන බාලිකා විද්‍යාලය, අස්ගිරිය විහාරය සහ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලින් මහයියාව ට පැමිණේ. කටුගස්තොට පාර මහනුවර ඩී.එස්. සේනානායක වීදියෙන් අාරම්භ වී දුම්රිය මාර්ගයට දකුණු පසින් මහයියාව තෙක් පැමිණේ. බොහෝ විට කටුගස්තොට පාරේ මහනුවර නගරාසන්නයේ වාහන තදබදය වැඩි අවස්ථා වල දී විකල්ප මාර්ගයක් ලෙස මහයියාව පාර භාවිතා වේ. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පිහිටා අැත්තේ ද මේ අාසන්නයේ ය.
    මහයියාව දුම්රිය හරස් මාර්ගය

    මීළඟට තවත් දුම්රිය නැවතුම් පොලක් හමු වන අතර එය හැඳින්වෙන්නේ කටුගස්තොට පාර නමිනි. එ් අසලම අැති පාලම 2014 වසරේ දෙසැම්බර් මස දරුණු වර්ෂාව හේතුවෙන් නාය යාමකට ලක් වී විනාශ විය. එහි අළුත්වැඩියා කටයුතු තවමත් සිදුවන අතර එතැනින් දුම්රිය ධාවනය කරන්නේ ඉතා සෙමිනි.
    කටුගස්තොට පාර දුම්රිය නැවතුම් පොල
    කටුගස්තොට පාර අසල පාලම නාය ගොස් අැති අයුරු

    මීළඟට මහයියාව බෝක්කුව නමින් ප්‍රකට ස්ථානය හමු වේ. එතැනදී කටුගස්තොට පාර දුම්රිය මාර්ගය යටින් ගොස් වම් පසට පැමිණේ. පැරණි ඉදිකිරීමක් වන මෙම බිම් ගෙය තුළ මාර්ගය තරමක් පටු ය. එසේ වූවත් අතීතයේ තැනුනු මාර්ගය පද්ධතියේ සිහිවටනයක් ලෙස මෙම ස්ථානය මහයියාව ප්‍රදේශයට අලංකාරයක් එක් කරයි.
    මහයියාව බෝක්කුව

    උප දුම්රිය ස්ථානයක් වන මාවිල්මඩ මීළඟට හමු වේ. එය අතීතයේ පැවතියේ දුම්රිය නැවතුම් පොලක් ලෙසටය. නමුත් පසු කාලීනව සිදු කෙරුනු මාතලේ මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රථිඵලයක් ලෙස දුම්රිය නැවතුම් පොල කිහිපයක් උප දුම්රිය ස්ථාන බවට පත් කරන ලදී. මාවිල්මඩ ද එයට අයත් ය.
    මාවිල්මඩ උප දුම්රිය ස්ථානය

     මාවිල්මඩ පාර වැටී අැත්තේ මාවිල්මඩ දුම්රිය ස්ථානය අසලින් ය.
    මාවිල්මඩ පාර

    මාවිල්මඩ පසු කරන විට මාතලේ මාර්ගයේ තවත් වැදගත් ස්ථානයක් වන කටුගස්තොට පාලම හමු වේ. මාතලේ මාර්ගය මහවැලි ගඟ හරහා ගමන් කරන දෙවන අවස්ථාව මෙය වන අතර පළමු ස්ථානය පේරාදෙණිය යි. මෙම පාලම් දෙකම හැඩයෙන් සහ දිගින් බොහෝ දුරට සමාන වේ.
    මහවැලි ගඟ හරහා කටුගස්තොට පාලම


    කටුගස්තොට පාලම පසුකරනවාත් සමගම වත්තේගම පාර දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. මුලින් සඳහන් කළ පරිදි මාතලේට ළඟා වීමට අැති මාර්ග දෙකෙන් එකක් වන වත්තේගම පාර පළමු වරට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන්නේ කටුගස්තොටදී ය.
    වත්තේගම පාර කටුගස්තොට දී

    මීළඟට තවත් පැරණි දුම්රිය ස්ථානයක් වන කටුගස්තොට දුම්රිය ස්ථානය හමු වේ. එය කටුගස්තොට නගරයෙන් තරමක් අෑතට වන්නට පිහිටා අැත. මෙහි එක් වේදිකාවක් පමණක් අැති අතර දුම්රිය දෙකකට මාරු වීමට අමතර මාර්ගයක් (Loop line) අැත.
    කටුගස්තොට දුම්රිය ස්ථානය

    කටුගස්තොට ට පසු ළඟා වන්නේ පල්ලේතලවින්න ග්‍රාමයට යි. වත්තේගම පාරේ නවයාලතැන්න ඔරලෝසු කණුව අසලින් ජම්බුගහපිටියට දිවෙන පාරෙන් පල්ලේතලවින්නට පැමිණිය හැක. මේ අාසන්නයේ දී ස්කාගාර සංස්ථාවේ (Distilleries corporation) ගබඩාව දක්නට ලැබේ.
    ස්කාගාර සංස්ථාවේ ගබඩාව - පල්ලේතලවින්න

    මීළඟට හමු වන පල්ලේතලවින්න උප දුම්රිය ස්ථානය ද නවීකරණයට ලක් වූ පැරණි දුම්රිය නැවතුම් පොලකි. එ් අසලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන්නේ නවයාලතැන්න - ජම්බුගහපිටිය පාරයි.
    පල්ලේතලවින්න දුම්රිය ස්ථානය
    ජම්බුගහපිටිය පාර

    පල්ලේතලවින්න පසුකර වැඩි දුරක් යාමට මත්තෙන් උඩ තලවින්න දුම්රිය ස්ථානය හමු වේ. කටුගස්තොට ට පසු හමුවන ප්‍රධාන දුම්රිය ස්ථානය උඩ තලවින්න යි. එය මුල් අවධියේ ඉදි කෙරුනු දුම්රිය ස්ථානයක් වූවද මෑත කාලයේ දී නවීකරණයට ලක් ව අැත. මගීන් සඳහා සෑහෙන ඉඩ පහසුකම් අැති උඩ තලවින්න දුම්රිය ස්ථානය අවට ගම්වාසීන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කර ගැනීමට උපකාරී වේ. ප්‍රධාන පාරෙන් තරමක් අෑතට වන්නට පිහිටි බැවින් උඩ තලවින්න අාසන්නයේ ගම්වාසීන් හට දුම්රිය පහසු ප්‍රවාහන මාධ්‍යයක් වී අැත.
    උඩ තලවින්න රතනජෝති මහා විද්‍යාලය

    උඩ තලවින්න දුම්රිය ස්ථානය
    උඩ තලවින්නට පසු තවත් උප දුම්රිය ස්ථානයක් වන මීගම්මන හමු වේ. එයද නවීකරණය වූ පැරණි දුම්රිය නැවතුම් පොලකි. සාමාන්‍යයෙන් සැලකිය යුතු මගී පිරිසක් එහි ගැවසෙන බව පෙනේ.
    මීගම්මන උප දුම්රිය ස්ථානය

    මීගම්මනට පසු යටිරාවන දුම්රිය නැවතුම් පොල හමු වේ. එයට යාබදව වත්තේගම - මීගම්මන පාර පිහිටයි.
    යටිරාවන දුම්රිය නැවතුම් පොල

    යටිරාවන පසුකර වත්තේගමට ළඟා වන විට මාතලේ පාර දුම්රිය මාර්ගයේ වම් පසට පැමිණේ. එ් දුම්රිය මාර්ගය සහ මහා මාර්ගයට හමුවන දෙවන හරස් මාර්ගය යි.
    මීළඟ දුම්රිය ස්ථානය වත්තේගම යි. මාතලේ්‍ මාර්ගයේ හමුවන දුම්රිය ස්ථාන අතුරෙන් පැරණි මෙන්ම විශාලත්වයෙන් වැඩි දුම්රිය ස්ථානයකි. එහි වේදිකා දෙකක් අැති බැවින් දුම්රිය දෙකකට මාරුවීමට ඉඩ කඩ අැත. මගීන්ට ද අපහසුවකින් තොරව දුම්රියට ගොඩවිය හැක. අමතර මාර්ග කිහිපයක් ද එහි අැති අතර අවශ්‍ය නම් දුම්රිය ගාල් කර තැබීමට ද පහසුකම් අැත. වත්තේගම නගරයෙන් ප්‍රධාන මාර්ග තුනක් විහිදී අැත. එ්වා නම් උකුවෙලට, අැල්කඩුවට හා ජම්බුගහපිටිය හරහා අඹතැන්නෙන් මාතලේ වරකාමුර පාරට ළඟා විය හැකි මාර්ග යි. මහනුවර - මාතලේ (මඩවල පාර) බස් රථ වත්තේගම හරහා ගමන් කරයි. එබැවින් ප්‍රදේශයේ ජනතාවට බස් රථ ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් වූවත් දුම්රියට ද මගීන් සැලකිය යුතු පිරිසක් පුරුදු වී අැත.
    වත්තේගම දුම්රිය ස්ථානය

    වත්තේගම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල
    වත්තේගම පාසලක සිසු දරුවන් පිරිසක් විවේක කාලයේදී


    වත්තේගම දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාව
    වත්තේගම දී දුම්රිය මාර්ගයට ඉහළින් යන මාර්ගයක්
    වත්තේගම අාසන්නයේ දී දුම්රිය හරස් මාර්ගයක් හමුවන අතර එතැනින් මාතලේ පාර නැවත දුම්රිය මාර්ගයේ දකුණු පසට පැමිණෙයි. එම මාර්ගය උකුවෙල හරහා මාතලේ දක්වා දිවෙයි. හරස් මාර්ගයේ සිට මද දුරකින් අැල්කඩුවට පාරක් යොමු වේ.
    වත්තේගමට නුදුරු දුම්රිය හරස් මාර්ගය

    මීළඟට යටවර දුම්රිය නැවතුම් පොල හමු වේ. වත්තේගම සිට ක්‍රමයෙන් දුම්රිය මාර්ගය කඳු සහිත ප්‍රදේශයකට පිවිසෙයි. මෙතැන් සිට මාර්ගය දෙපස බෑවුම් සහිත බවක් දක්නට ලැබෙන අතර කඳුකර වනාන්තර ලක්ෂණ ද පෙන්නුම් කරයි. ඈතින් නකල්ස් කඳු වැටිය ද දර්ශනය වේ
    යටවර දුම්රිය නැවතුම් පොල

    යටවර දුම්රිය නැවතුම් පොල නාම පුවරුව

    කඳුකරයේ දර්ශන

    නකල්ස් කඳු වැටිය

    මීළඟට පතන්පහ උප දුම්රිය ස්ථානය හමු වේ. එය නවීකරණය වූ පැරණි දුම්රිය නැවතුම් පොලකි.
    පතන්පහ උප දුම්රිය ස්ථානය

    පතන්පහ උප දුම්රිය ස්ථානය නාම පුවරුව
    පතන්පහ දුම්රිය ස්ථානය පසු කළ විට තවත් වැදගත් ස්ථානයක් දක්නට ලැබේ. ඒ උකුවෙල විදුලි  බලස්ථානය යි. දුම්රිය මාර්ගයේ සිට දකුණු පසින් පහත බැලූ විට උකුවෙල විදුලි බලස්ථානය දර්ශනය වේ. එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලම ඇත්තේ උකුවෙල විදුලි බලස්ථානයේ නිවාස පෙදෙස යි. එනම් නිල නිවාස පිහිටි ප්‍රදේශය යි. දුම්රිය චාරිකා අතරතුර මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් දක්නට ලැබෙන එකම ස්ථානය උකුවෙල ලෙස නම් කළ හැක. තාප විදුලි බලාගාරයක් දක්නට ලැබෙන්නේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට කැළණිය ආසන්නයේ දී පමණි. ඒ කැළණිතිස්ස බලාගාරය යි. නොරොච්චෝල බලාගාරය පුත්තලම ආසන්නයේ දී දර්ශනය වූවත් එය දුම්රිය මාර්ගයට පැහැදිලිව පෙනෙන්නේ නැත. එබැවින් උකුවෙල පිළිබඳවත් ජල විදුලි බලාගාරයක් යනු කුමක්දැයි යන්න පිළිබඳවත් සටහනක් තැබීම සුදුසු යැයි සිතමි.

    ජල විදුලි බලාගාර යනු ජලාශයක රැස් කෙරුනු ජලස්කන්ධයක විභව ශක්තිය එම ජලය ක්‍රමාණුුකූලව මුදා හැරීමෙන් චාලක ශක්තිය බවට පෙරලා එමගින් විදුලි ජනක යන්ත්‍ර භ්‍රමණය කරවීමට සලස්වා විදුලිය උත්පාදනය කරන බලස්ථාන යි. මෙමගින් විදුලිය නිපදවීමේදී කිසිදු අපද්‍රව්‍යයක් පරිසරයට මුදා නොහැරෙන බැවින් ඉතා පිරිසිදු, ලාබදායී සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභේදයක් ලෙස ජල විදුලිය නම් කළ හැක.

    උකුවෙල යනු ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාර සංකීර්ණ තුන අතරෙන් මහවැළි සංකීර්ණයට අයත් මධ්‍යම ප්‍රමාණයේ විදුලි බලාගාරයකි. මෙගාවොට් 20 උත්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත එහි විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 40 ක් වේ. උත්පාදන යන්ත්‍ර වලට බලය සැපයෙන්නේ ෆ්‍රැන්සිස් වර්ගයේ තලබමන (Turbine) දෙකකිනි. බලාගාරය වෙත ජලය ගෙන එනු ලබන්නේ පොල්ගොල්ල ජලාශයෙනි. පොල්ගොල්ල ජලාශය දුම්රිය මාර්ගයට දර්ශනය නොවුනත් එහ පිහිටා ඇත්තේ කටුගස්තොට පාලම සිට මද දුරකින් ය. පොල්ගොල්ල අමුණ නිසා ඉහළ යන මහවැළි ගඟේ ජල මට්ටමෙන් රැස් වන විභව ශක්තිය උකුවෙල බලාගාරය බල ගැන්වීමට යොදා ගැනේ. එනම් එහි ජලය සැතපුම් පහක් දිග උමං මාර්ගයකින් ගෙන ගොස් උකුවෙලදී විශාල නළ දෙකකින් (Penstock) බලාගාරය වෙත යොමු කෙරේ. එම නළ, දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කරයි. බලාගාරයේදී විදුලි උත්පාදනයෙන් පසුව ජලය මුදාහැරෙන්නේ මහවැළි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟට යි. පොල්ගොල්ල අමුණ සහ ඒ ආශ්‍රිත ජල කළමණාකරන ක්‍රම මහවැළි යෝජනා ක්‍රමයේ සැලැස්මකි. මහවැළි යෝජනා ක්‍රමය යනු ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය ඉලක්ක කරගෙන දියත් වුනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය සාර්ථක වූ දැවැන්තම ව්‍යාපෘතියකි‍.
    උකුවෙල විදුලි බලස්ථානයේ සිට ඇදෙන අධි සැර සම්ප්‍රේෂණ රැහැන්

    උකුවෙලින් උත්පාදනය කෙරෙන විදුලි බලය බෝවතැන්න බලාගාරයෙන් ආරම්භ වී උකුවෙලට සම්බන්ධ වන වෝල්ට් 132000 (132 kV) රැහැන් මගින් හබරන සහ කිරිබත්කුඹුර කොටුමා උපපොල (Grid substation) වෙත සම්ප්‍රේෂණය කරනු ලැබේ.
    ඈත කඳුකරයේ දර්ශන

    ජල විදුලි බලාගාරයක පිහිටීම පිළබඳ අවබෝධයක් ලබාගැනීමට උනන්දු වන අයට මාතලේ මාර්ගයේ ගමන් කිරීම මගින් ඒ පිළිබඳ අදහසක් ලබා ගත හැක. විශේෂයෙන් කටුගස්තොට දී පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ගැනත්  එතැන් සිට උකුවෙල දී කෙතරම් උසකින් ජලය මුදා හැරෙනවා ද යන්නත් ගැන පැහැදිලි අවබෝධයක් ලැබේ.
    උකුවෙල විදුලි බලස්ථානයට ජලය ගෙන යන යෝධ නළ (Penstock)

    උකුවෙල විදුලි බලස්ථානයේ භූමි ප්‍රදේශය

    තරමක වනාන්තර සහිත ප්‍රදේශයකින් පසු මීළඟට හමුවන්නේ  මාරුකොත දුම්රිය නැවතුම් පොල යි.
    මාරුකොත දුම්රිය නැවතුම් පොල

    මීළඟට උඩත්තාවල උප දුම්රිය ස්ථානය හමු වේ. උඩත්තාවල පසු කරනවාත් සමගම වත්තේගම පාර යළිත් දුම්රිය මාර්ගය ආසන්නයට පැමිණේ.
    උඩත්තාවල දුම්රිය ස්ථානය

    මීළඟට මාතලේ මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන උකුවෙල දුම්රිය ස්ථානය හමු වේ. මගීන් සඳහා වැඩි ඉඩ කඩක් සහිතව නිර්මාණය වී ඇති උකුවෙල මුල් යුගයේ ඉදි වූ දුම්රිය ස්ථානයකි. එහි ඇත්තේ එක් වේදිකාවක් පමණි. නමුත් අමතර මාර්ගයක් ඇති බැවින් දුම්රිය දෙකකට මාරු වීමට ඉඩ කඩ ඇත. පැරණි බඩු ගබඩාවක් ද ඇති අතර එය භාවිතා කෙරෙන බවක් නොපෙනේ.
    උකුවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල

    උකුවෙල දුම්රිය ස්ථානය
    උකුවෙල දුම්රිය ස්ථානයේ කාලසටහන


    උකුවෙල දුම්රිය ස්ථානයේ පැරණි බඩු ගබඩාව
    උකුවෙල නගරයෙන් ඇල්කඩුවට සහ මාතලේ වරකාමුර පාරට මාර්ගයන් විහිදෙයි. බස් රථ ධාවනය ද සැලකිය යුතු මට්ටමකින් සිදු වේ. එබැවින් උකුවෙල යනු මධ්‍යම ප්‍රමාණයේ ජනාකීර්ණ නගරයකි. උකුවෙල ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය භාවිතා කරනු ලබන්නේ අල්ප වශයෙනි. එයට හේතුව මහනුවර සහ මාතලේ ට බස් රථ ගමනාගමනය නිරන්තරයෙන් සිදුවන බැවිනි. නමුත් බස් ගමනාගමනය සුලභ නොවන ගම්බද ප්‍රදේශ වලට ගමන් කිරීමට දුම්රිය යොදා ගැනෙන බව පැහැදිලි වේ.
    උකුවෙල දුම්රිය ස්ථානයට පසු වත්තේගම පාර නැවත දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. ඒ මාතලේ දුම්රිය මාර්ගය සහ බස් මාර්ගයට හමු වන සිව් වෙනි හරස් මාර්ගය වන අතර එතැන් සිට මාතලේ දක්වාම බස් මාර්ගය පිහිටන්නේ දුම්රිය මාර්ගයේ වම් පසිනි.
    උකුවෙල දුම්රිය හරස් මාර්ගය. පසුබිමෙන් දිස්වන්නේ මහනුවර - වත්තේගම හරහා - මාතලේ (686) බස් රථයකි.

    උකුවෙල සිට මාතලේ දක්වා දුම්රිය නැවතුම් පොල තුනක් හමු වේ. ඒවා නම් පිළිවෙලින් තවලන්කොය, ඇල්වල සහ කොහොඹිළිවෙල යි. මහා මාර්ගය ද දුම්රිය මාර්ගය ට වම් පසින් ඉතා ආසන්නව ගමන් කරයි.


    තවලන්කොය දුම්රිය නැවතුම් පොල
    තවලන්කොය දුම්රිය නැවතුම් පොල නාම පුවරුව

    ඇල්වල දුම්රිය නැවතුම් පොල

    ඇල්වල දුම්රිය නැවතුම් පොල නාම පුවරුව

     ඇල්වල නැවතුම් පොල අසල
    මහා මාර්ගය අසලින්

    කොහොඹිළිවෙල දුම්රිය නැවතුම් පොල

    කොහොඹිළිවෙල දුම්රිය නැවතුම් පොල නාම පුවරුව
    මාතලේට ආසන්නව දර්ශනය වන කඳු වැටි
    මාතලේ නගරයට ආසන්න වත්ම සුදු ගඟ හරහා වැටුණු පාලම හමුවේ. එතැන දී වම් පසින් ඇත්තේ මාතලේ පොලිස් ස්ථානය යි. තවත් මද දුරක් ගිය විට මාතලේ කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටිය දැක ගත හැක. මාතලේ හොකී ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලන බව මෙහිලා සඳහන් කළ යුතු ය. බොහෝ විට අන්තර් පාසල් ක්‍රීඩා තරඟ වලදී හොකී ක්‍රීඩාවෙන් පෙරමුණ ගැනීමට මාතලේ පාසැල් සමත් වේ.

    මාතලේ පොලීසිය පිටුපස ක්‍රීඩා  පිටිය

    මාතලේ කෘත්‍රිම හොකී පිටිය

    මීළඟට ළඟා වන්නේ මාතලේ දුම්රිය ස්ථානයට යි. එනම් මාතලේ මාර්ගයේ පර්යන්ත දුම්රිය ස්ථානය යි.

    මාතලේ දුම්රිය ස්ථානයට ළඟා වෙමින්

    මාතලේ දුම්රිය ස්ථානයේ නාම පුවරුව

    මාතලේ දුම්රිය  ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල සහිත එක් වේදිකාවක් පමණක් ඇත. නමුත් අමතර මාර්ග තුනක් ඇත. ගමනාන්තයට පැමිණි දුම්රිය වල එන්ජින් අනෙක් පසට ඈඳීම වැනි කටයුතු සඳහා මෙම අමතර මාර්ග භාවිතා වේ. අතීතයේ භාණ්ඩ ප්‍රවාහන ගැල් පවා මාතලේට පැමිණ ඇතත් වර්තමානයේ එවැනි තත්වයක් දැකගත නොහැක. එකල භාණ්ඩ ප්‍රවාහන ගැල් සහ අනෙකුත් මැදිරි එකලස් කිරීම සඳහා ෂන්ටින් කටයුතු පවා සිදුවන්නට ඇත‍. මාතලේ පැරණි බඩු ගබඩාවක්ද දක්නට ලැබෙන බැවින් මේ බව වඩාත් තහවුරු වේ.
    මාතලේ දුම්රිය  ස්ථානයේ ප්‍රධාන මාර්ගය සහ අමතර මාර්ග

    මාතලේ දුම්රිය  ස්ථානයේ කෙළවර
    මාතලේ දුම්රිය  ස්ථානයේ පීලි මාරු කරවනය

    මාතලේ සිට මහනුවර දෙසට විහිදෙන මාර්ගය
    මාතලේ දුම්රිය ස්ථානයේ වේදිකාව
    මාතලේ දුම්රිය ස්ථානයේ වේදිකාව


    මාතලේ නගරයට දර්ශනය වන කඳුවැටියක්

    මාතලේ දුම්රිය ස්ථානය පිටත සිට පෙනෙන අයුරු

    මාතලේ දුම්රිය ස්ථානයේ මුහුදු මට්ටමේ සිට උස දැක්වෙන නාම පුවරුව

    දේශගුණ තත්වය අතින් මාතලේ තරමක් වියලි ස්වභාවයක් පෙන්නුම් කරයි. එයට හේතුව මාතලේ නගරය තෙත් සහ වියළි කලාප මායිමේ පිහිටා තිබීමයි. දුම්රියෙන් මාතලේ ට ගමන් කරන්නෙකු හට මාතලේ නගරයට පිවිසීම අපහසු වන්නේ නැත. දුම්රිය ස්ථානයේ සිට මීටර දෙසියයක් පමණ බටහිර දෙසට ගිය විට හමුවන්නේ මහනුවර - යාපනය A9 මාර්ගය යි. ඒ අවට මාතලේ නගරය පිහිටා ඇත. බස් නැවතුම් පොල, සියලු බැංකු ශාඛා, සුපිරි වෙළඳ සැල්, ආපන ශාලා මෙන්ම මාතලේ තානායමද කිලෝමීටරයක් තරම් දුරක් ඇතුළත සොයා ගත හැක.

    මාතලේ යනු බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා කරනු ලැබූ අතිශය වැදගත් ක්‍රියාවලියකට දායක වූ ප්‍රදේශයක් බැවින් ඒ පිළිබඳ සටහනක් තැබීම අත්‍යවශ්‍ය යැයි සිතමි. මාතලේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික සිදුවීම නිසා යැයි කිව හැක. එම ග්‍රන්ථාරූඪ කිරීම සිදුවී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ අළුවිහාරයේ දී බව මහාවංශයේ සඳහන් වේ. ඒ ක්‍රි.පූ. පළමුවන සියවස තරම් ඈත අතීතයේ දී වළගම්භා රජ සමයේදී ය. දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර තුනහමාරක් පමණ A9 මාර්ගය දිගේ උතුරු දෙසට වන්නට මෙම ඓතිහාසික අළුවිහාරය හමු වේ.

    මාතලේ මාර්ගයේ සම්පූර්ණ ගමනක් සඳහා මහනුවර සිට ගතවන්නේ පැයකුත් විනාඩි විස්සක පමණ කාලයකි. එබැවින් මහනුවරට පැමිණීමෙන් පසු මාතලේ බලා ගොස් ආපසු පැමිණීම එතරම් වේලා ගත වන්නක් නොවේ. කිසිදු සුඛෝපභෝගී දුම්රියක් හෝ නැරඹුම් මැදිරියක් ධාවනය නොවුනත් මහනුවරින් මාතලේ බලා ධාවනය වන සාමාන්‍ය දුම්රියක නැගී අවට සිරි නරඹමින් ගමන් කළ හැක. මුලින් සඳහන් කර ඇති පරිදි මහනුවර දේශගුණ තත්වයත් භූගෝලීය පිහිටීමත් මනා ලෙස අවබෝධ කරගැනීමට මෙවැනි චාරිකාවක යෙදීමෙන් කෙනෙකුට අවස්ථාව සලසා ගත හැක. විශේෂයෙන් මහවැළි යෝජනා ක්‍රමයට අයත් පොල්ගොල්ල ජලාශය, උකුවෙල විදුලි බලස්ථානය වැනි  වැදගත් ස්ථාන ද හමු වන බැවින් විවිධ ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන අයට මාතලේ මාර්ගයේ සංචාරය නිර්දේශ කළ හැක.‍

    පේරාදෙණියෙන් ආරම්භ වී මහනුවර - වත්තේගම - උකුවෙල හරහා මාතලේට පැමිණි සංචාරය මෙසේ නිමා වන අතර මාතලේ මාර්ගයේ චාරිකා සටහන් ලිපිය ද මෙතැනින් අවසන් වේ.




    Creative Commons License
    මාතලේ මාර්ගය - චාරිකා සටහන් by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.